saranankara-road-incident

කඩු පොලු සහ තියුණු ආයුධ රැගෙන පැමිණි විශාල පිරිසක් කළුබෝවිල සරණංකර පාරේ ව්‍යාපාරික ස්ථානයක් ඉදිරිපිට සිටි පිරිසකට පෙරේදා (20) රාත්‍රි සිදුකළ පහරදීමකින් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි කොහුවල පොලීසිය සඳහන් කරයි.තමා ඝාතනය කිරීම සඳහා ඉලක්ක කරගෙන මෙම පිරිස පැමිණ ඇති බව එම ආයතනයේ ව්‍යාපාරිකයා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක සඳහන් වේ.එම පිරිස පැමිණෙන අවස්ථාවේදී ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිට රැඳී සිටි ව්‍යාපාරිකයා සිය මෝටර් රථය පණගන්වා ගෙන එම ස්ථානයෙන් පළා යාම හේතුවෙන් ඔහුගේ දිවි බේරී ඇති අතර ඔහු යටතේ සේවය කරන සේවකයන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා ඇත.



මේ වන විට එක් පුද්ගලයකු කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහු ශල්‍යකර්මයකට භාජනය කර ඇති බව පොලිසිය කියයි.දේපළ ප්‍රශ්නයක් මුල් කරගෙන තම මස්සිනා, මව සහ සොයුරිය විසින් මෙම පිරිස මෙහෙයවා ඇති බව ඔහු පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත.තම මස්සිනාගෙන් මේ අයුරින් තමන්ට මරණීය තර්ජන ඇති බවට ව්‍යාපාරිකයා කීප වතාවක්ම පොලිසියට පැමිණිලි කර ඇතිමුත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා නොකර සමථමණ්ඩලයට යොමුකිරීම හේතුවෙන් තමන්ට දිගින් දිගටම මෙම තර්ජන එල්ල වන බව ව්‍යාපාරිකයා පවසයි.

කළුබෝවිල බෝධිය වත්තේ මැර පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව මේ වන විට අනාවරණය වී ඇත.

පහරදුන් සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර පහර කෑමට ලක්වූ පාර්ශවයේ පුද්ගලයකු සහ පැමිණිලිකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන තැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. කොහුවල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

බිමල් ශශ්‍යාමන් ජයසිංහ