saudi-mother-torchre

සෞදි අරාබියේ ගෘහ සේවයේ සිටියදී ආහාර වෙනුවට කොන්ක්‍රීට් ඇණ පහක් සහ රෙදි වියළීමට උපයෝගී කර ගන්නා යකඩ ස්ප්‍රින් කැබැල්ලක් ගිල්ලූ බව මාතලේ ඇල්කඩුවේ කාන්තාවක් වත්තේගම පොලිසියට පැමිණිල්ලක් කරමින් පැවසුවාය.මෙම ගෘහ සේවිකාව සෞදි රෝහලක වෛද්‍යවරයෙකුගේ මැදිහත්වීමෙන්

තානාපති කාර්යාලය හරහා මීට දින කිහිපයකට ඉහත දී ලංකාවට ගෙන්වා ගනු ලැබුවාය.ආහාර වෙනුවට කොන්ක්‍රීට් ඇණ ගිල්ලවා ඇත්තේ සෞදි අරාබියේ තායිඩ් ප්‍රදේශයේ ගෘහ සේවිකාවක ලෙස සේවය කරමින් සිටි මාතලේ ඇල්කඩුව තේවත්තක ජීවත් වූ එම්. එස්. ත්යාගා සෙල්වි නැමැති විසි එක් හැවිරිදි එක් දරු මවකටය.



තම දියණියට සිදු වූවූ මෙම අපරාධය පිළිබඳව ඇයගේ මව තයාගු කුමාරි මහත්මියද වත්තේගම පොලිසියට පැමිණිල්ලක් කළාය.තමා කොළඹ පෞද්ගලික විදේශ රැකියා ආයතනයකින් ජුනි මාසයේදී ගෘහ සේවය සඳහා ගිය බවත් එහිදී ආහාර පාන නොදී දැඩි පීඩනයකට පත්ව සිටින අවස්ථාවක තමා දුරකථනය හරහා ආහාර නොමැති බව පැවසීමෙන් හා රැකියා නියෝජිත ආයතනයට ඒ බව දැන්වීම නිසා උරණ වූ නිවසේ හිමිකාරිය සහ ඇයගේ මව එක්ව ඉතා අමානුෂික අන්දමින් පහර දී කොන්ක්‍රීට් සඳහා ගසන සුදු පැහැති ඇණ පහක් ගිල දමන ලෙස බල කරමින් පහර දුන් බව ඇය සඳහන් කළාය.කම්බි ගිලීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී පහරදී ඇණ ගිල්ලූ බවද ඇය කීවාය. පසුව රෙදි වියළීම සඳහා උපයෝගී කරගන්න සුදු යකඩවලින් නිෂ්පාදිත ස්ප්‍රින් එකක් ගිල්ල වූ බවත් එම යකඩ කැබැල්ල උගුරේ සිරවූ බව ද ඇය හැඬු කඳුළින් සඳහන් කළාය.

දින කිහිපයක් මේ ආකාරයෙන් පසුවෙද්දී එකවරම තමන්ගේ උදරයෙන් මුඛයෙන් ලේ වහනය වන්නට වූ අවස්ථාවේ එම නිවැසියන් තමන්ව එරට රෝහලකට රැගෙන ගිය බව සෙල්වී මහත්මිය පැවසවාය.වෛද්‍යවරුන් තමා පරික්ෂා කළ අවස්ථාවේදී උදරයේ යකඩ ඇණ පහක් දැක ඒ සඳහා ප්‍රතිකාර ලබා දීමට ඉදිරිපත් වූ බව ඇය සඳහන් කළාය.

ලංකාවට පැමිණ මහනුවර රෝහලේ දී පරික්ෂා කිරීමේදී තවත් ඇණ දෙකක් තම කුස තුළ තිබෙන බව එප්රේවලින් පෙනී ගිය බවද ඇය සඳහන් කළාය. එක ඇණයක් දින දෙකකට ඉහතදී වෛද්‍යවරුන් එළියට ගත් බවත් තවත් යකඩ ඇණයක් තමන්ගේ උදරයේ පිට කොන්ද ප්‍රදේශයේ රැඳී තිබෙන බවද ඇය සඳහන් කරන්නට වූවාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදේශ රැකියා ආයතනය දැනුවත් කළ ද ඔවුන් කිසිම ප්‍රතිචාරයක් නොදැක්වූ බවද එම කාන්තාවගේ මව කීවාය.සැමියාගෙන් වෙන්වී දරුවකු සමග තනිව ජීවත්වන තම දියණිය දරුවාගේ අනාගතය සඳහා විදේශගත වූ බව ඇද ඇය හැඬු කඳුළින් කීවාය. මෙවැනි දෙයක් කිසිදු අයකුට සිදුවන්නට ඉඩ නොතබන ලෙස ඇය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරමින් පැවසුවාය. වත්තේගම පොලිසියේ නිලධාරීන් පැය හතරක පමණ කාලයක් මෙම ගෘහ සේවිකාවගේ ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරි විමර්ශන සිදුකරයි. මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව වත්තේගම පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
කාංචන කුමාර ආරියදාස