සුපුරුදු පරිදි මව සමග දහවල් නින්දට ගිය සිවු හැවිරිදි දැරියක පෙරේදා (11) නින්දේදීම මියගොස් ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.මෙසේ මියගොස් ඇත්තේ, හොරණ, දිහේනපුර පදිංචිව සිටි සෙනුකි අනන්‍යා නමැති දැරියකි.

දැරිය පිළිබඳව මව විමසිලිමත්වීමේදී දැරියට නින්දෙදීම මුත්‍රා පිටවී ඇති බව දැක ඇයගේ ඇඳුම් මාරු කිරීමට සූදානම් වී ඇති අතර දැරියගේ ශරීරය අප්‍රාණිකවී ඇති බව දැනී වහා හොරණ මූලික රෝහලට රැගෙන ගොස් ඇත.එහිදී දැරිය පරීක්‍ෂා කළ වෛද්‍යවරුන් ඇය මියගොස් ඇති බව ප්‍රකාශ කර ඇත.

දැරියගේ පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසුව සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රස පරීක්ෂක වෙත ඊයේ (12) යොමු කළ සාක්කි හා අදාළ වෛද්‍ය වාර්තා සලකා බැලූ හොරණ මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතා එම මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් දුන්නේය.එහිදී දැරියගේ මව වන පනම්වෙල ජයසිංහ දිස්නා මහත්මිය මරණ පරීක්‍ෂණය හමුවේ සාක්කි දෙමින් මෙසේ පැවසුවාය.



“පයාගලගේ සසංක සඳරුවන් කියන්නේ මගේ සැමියා. අපි විවාහ වෙලා වසර හයක් පමණ වෙනවා. අපිට හිටියේ එකම දරුවා සනුකි දුව විතරයි. දරුවාට කිසිම අසනීපයක් තිබුණේ නෑ. කාලා බීලා සෙල්ලම් කරලා හොඳින් හිටියා.දුවට සතියක පමණ වගේ ඉඳලා සෙම අමාරුවක් තිබුණා. ඒ සඳහා පෞද්ගලික වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා දුන්නා. ඒකට අඩු වුණා. පෙරේදා (11) දහවල් වෙනදා මෙන් දරුවාට කන්න දීලා පසුව මමත් බත් කාලා එකයි කාලෙට විතර, විනාඩි දහයක් විතර බබා මගේ ෆෝන් එක ඔබ ඔබ ඉඳලා, එයාට එහෙමම නින්ද ගියා.

මද වේලාවකදී මුළුතැන්ගෙයි වැඩ ඉවර කරලා මමත් නිදාගන්න හිතාගෙන දුව ඉන්න ඇඳ ළඟට ආවා.ඒ ඇවිත් බලන විට දරුවාට මුත්‍රා පිටවෙලා තිබුණා. ඒක අස් කරන්න අවදි කරන්න හදන විට දරුවා අවදි වුණේ නැහැ. මම කතා කරලා හොල්ලලා ඇල කරලා බලලා වතුර ටිකක් මුහුණට ගාලා බැලුවා. ඒත් බබා කතා කළේ නැහැ.පසුව මම සැමියාට කතා කරලා මේ බව පැවසුවා. එයා ඒ වෙලාවේ ගිලන් රථයට කතා කරලා තිබුණා. මම ඒක එන්න ප්‍රමාද වූ නිසා දරුවා අරගෙන පාර දිගේ දුවගෙන ආවා. පසුව ආපු මෝටර් බයික් එකක් නවත්වා ඒකේ නැගලා දික්වෙන හන්දියට ආවා එතනින් බැස ත්‍රී රෝද රථයකින් දරුවා රැගෙන රෝහලට ආවා.

එහිදී වෛද්‍යවරුන් පරික්ෂා කර බලා දරුවා මියගිහින් කිව්වා”

මියගිය දැරියගේ පියා වන සසංක සඳරුවන් මහතා සාක්කි දෙමින් මෙසේ පැවැසීය.

ව්‍යාපාරික අවශ්‍යතාවක් සඳහා පෙරේදා (11) පෙරවරු නවයයි තිහට පමණ මම නිවසින් පිටවී ගියා. මම නිවසින් පිටවී ගියාට පසුව දුව මට දුරකථන ඇමතුමක් දීලා ඇයට ගේන්න ඕනේ දේවල් ද මට කිව්වා. බිරිඳත් දුවත් හැමදාම දවල්ට නිදා ගන්නවා. ඔවුන් සවස 4.00ට විතර නැගිටින්නේ. දුව දවල්ට බත් කන වීඩියෝවක්ද මට එවලා තිබුණා. දවල් 02.15ට විතර බිරිඳ මට කතා කළා.ඇය කිව්වා බබා හුස්ම ගන්නේ නැහැ කියලා. මම කිව්වා ඉක්මනින් රෝහලට ගෙනියන්න කියලා. මම 1990 ගිලන් රථයට කතා කළා. එන්න පරක්කු නිසා බිරිය දුවව යතුරු පැදියකින් ගොස් මගදී ත්‍රිරෝද රථයකින් රෝහලට ගෙන ගොස් තිබුණා. මමත් ඉක්මනට රෝහලට ආවා. මම එනවිටත් දුවට වෛද්‍යවරු ප්‍රතිකාර ලබාදෙනවා. ටික වේලාවකට පසු වෛද්‍යවරු පැවසුවා දුව මියගියා කියලා”

හොරණ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය කේ.ඊ. මුහන්දිරම් මහත්මිය දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළාය.
 බිමල් ශ්‍යාමන් ජයසිංහ