රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක ලෙස පෙනී සිටිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනකු රවටා රුපියල් ලක්ෂ 19 ක මුදලක් වංචාවෙන් ලබාගත් බව කියන පෞද්ගලික රක්ෂණ ආයතනයක රැකියාව කරන තරුණියක සැකපිට පෙරේදා (12) අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රක්ෂණ ආයතනයක රැකියාව කරන 23 හැවිරිදි තරුණියකි.මොරටුව මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි. පැමිණිල්ල කරන ලද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් වංචාවෙන් ලබාගෙන ඇතැයි කියන මුදල රුපියල් ලක්ෂ 5ක් යැයි පොලිසිය කියයි.ඇය ඔහුගෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් අවස්ථා දෙකකදී ලබාගෙන ඇයගේ බැංකු ගිණුමක තැන්පත් කරගෙන ඇතැයි පොලිසිය කියයි.
මේ අතර ඇය මොරටුව මහ නගර සභාවේම තවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගෙන් රුපියල් ලක්ෂ 14ක මුදලක් මෙවැනිම ආකාරයට වංචාවෙන් ලබාගෙන ඇතැයි මොරටුව මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් නීතිය හැදෑරීමට අපේක්ෂාවෙන් පසුවන බවත්, ඒ සඳහා අවශ්‍ය මුදල් නොමැති නිසා මේ ආකාරයට මුදල් ලබාගත් බවත් සැකකාරිය පවසන්නේ යැයි එම නිලධාරියා කීය. ඇය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා වසරක පමණ කාලයක සිට දැන හඳුනාගෙන ඇසුරු කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියක වන තමන් මෙම රක්ෂණ ආයතනයේ රැකියාව කරන්නේ යම් යම් තොරතුරු ලබාගැනීමේ අරමුණින් බව සැකකාර තරුණිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනාට පවසා ඔවුන් මුළාවේ දමා ඇතැයි ද පොලිසිය පවසයි. රහස් පොලිසියේ උසස් නිලධාරීන්ගේ අනුදැනුම ඇතිව රහසිගතව තොරතුරු සෙවීමේ නිරතව සිටින බව ද සැකකාරිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා සමඟ පවසා ඇතැයි කියති.
මොරටුව සහකාර පොලිස් අධිකාරී තරිඳු අනුරංග මහතා වෙත කරන ලද පැමිණිලිවලට අනුව ඇය අත්අඩංගුවට ගෙන ඇත.සැකකාරිය රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියක ලෙස පෙනී සිටිමින්, මෙවැනි මුදල් වංචා තවත් සිදු කර ඇත්දැයි යන්න සොයා ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
0 Comments