sujatha-munasingh-manabharana-death

තලංගම ප්‍රදේශයේ ලැගුම් හලක් තුළදී ප්‍රකට මනෝ උපදේශකවරියක වන සුජාතා මුණසිංහ මානාභරණ අභිරහස් ලෙස ඝාතනය කර තිබියදී හමුවී තිබේ. තවත් පිරිමි පුද්ගලයකු සමඟ ඉකුත් 26 වෙනි දින ලැගුම් හලට පැමිණ ඇති ඇය දින ගණනාවක්ම එහි රැඳී සිටි බව කියැවේ. ඇය සමඟ ලැගුම්හලට පැමිණි පිරිමි පුද්ගලයා ඊයේ (03දා) ලැගුම්හලින්  පිටතට ගොස් රාත්‍රී යළිත් පැමිණ ඇති අතර යළිත් පිටතට ගොස් ඇති මුත් කිසිවෙකු ඒ ගැන නිරීක්ෂණය කර නැත.
ඊයේ දහවල් කාලයේ සිට කාන්තාව පෙනෙන්නට නොසිටීම හේතුවෙන් ලැගුම්හලේ සේවකයන් විසින් කාමරයේ දොර කඩා බැලීමේදී කාන්තාව කාමරේ  ඇඳ උඩ ලේ විලක් මැද මැරී සිටින අයුරු දැක තිබේ. ඒ අනුව පොලිසිය දැනුවත් කර පරීක්ෂණ අරඹා තිබේ.
පොලිසිය පරීක්ෂා කිරීමේදී ඇගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි නිරීක්ෂණය වී තිබේ. ඇය සමග සිටි පිරිමි පුද්ගලයා ඇය ගාතනය කර පළායන්නට ඇතැයි පොලිසිය සැකකරයි.


මියගිය තැනැත්තිය කවුදැයි යන්න සෙවීමට යාමේදී පොලිසිය උගතෝකෝටිකයකට මුහුණදුන් අතර ලැගුම්හලට පැමිණෙන විට එම කාන්තාව ඇයගේ හැඳුනුම්පත නොමැති බව පවසමින් කොල කැබැල්ලට සටහන් කරන ලද  හැඳුනුම්පත් අංකයක්  අයකැමිවරයා වෙත ලබාදී ඇති මුත් 1977 උපන් වර්ෂය යයි සඳහන් එය ව්‍යාජ එකක් බව පොලිසිය කියයි.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ වයස ඊට වඩා වැඩි බව තේරුම් ගෙන ඇති අතර ඇයගේ ගමන් බෑගයේ තිබූ ලිපිනයක් ඔස්සේ සිදුකළ පරික්ෂාවේදී එම අංකය හපුතලේ ප්‍රදේශයේ ලැගුම්හලකට අයත් එකක් බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ බවට සිතිය හැකි ඇය විසින් හමුදාවට, පොලිසියට උපදේශන සේවා ලබා දුන්  බව සඳහන් ප්‍රවෘත්ති වාර්තා ද ඇය ලැගුම් ගෙන සිටි ලැගුම්හලේ කාමරේ තිබී පොලිසිය මඟින් සොයාගෙන තිබූ අතර ඒ තොරතුරු ඔස්සේ ඝාතනයට ලක්ව ඇත්තේ 53 වන වියේ පසුවන සුජාතා මුණසිංහ මානාභරණ නැමති කාන්තාවක බවට හඳුනාගෙන තිබේ.


මනෝවිද්‍යාඥවරියක වන සුජාතා මුණසිංහ මානාබරණ එල්.ටී.ටී.ඊ.යට එරෙහි අවසන් සටනේ දී සටන් කළ සෙබළුන් සමග මනෝ උපදේශන පුහුණු කඳවුරු පැවැත්වූ අයෙකි.
මානාබරණ මහත්මිය වෘත්තීය උපදේශකයින් සහ මනෝවිද්‍යාඥයින් කණ්ඩායමක් සමග කටයුතු කළ අයකු වන අතර ඔවුන් යුද්ධයට සම්බන්ධ ආතතිය සහ අනෙකුත් මානසික ගැටළු සමඟ කටයුතු කිරීමට හමුදාවන්ට උපකාර කිරීම සඳහා වසර ගණනාවක් සේවය කර තිබේ. හමුදා මනෝවිද්‍යාව පිළිබඳ පුහුණුව ලබා ඇති ඇය 2003 වසරේ සිට ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයින්ට උපදේශන ලබා දී ඇති බවද වාර්තා විය.
ඝාතනයට ලක්වූ කාන්තාව තවත් පිරිමි පුද්ගලයකු සමඟ ඉකුත් 26 වෙනි දින ලැගුම් හලට පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වීමෙන් පසු එම පිරිමි පුද්ගලයා සොයා මේ වනවිට පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.ලැගුම්හලේ සීසීටීවී කැමරා කලෙක සිට ක්‍රියා විරහිත වී ඇතැයි පොලිසිය කියයි.
වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.
මියගිය කාන්තාව රූපවාහිනී වැඩසටහනකට පැමිණි අවස්ථාවක වීඩියෝවක් මේ සමග පළවේ.