thambuttegama-incident

අනුරාධපුර ප්‍රියංකරගම පොලීසියේ ස්ථානාධිපතිවරයා ව්‍යාජ අත්සනක් සහිත කූට දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කර තිබීම හේතුවෙන් නීතිවිරෝධී මත්පැන් බෝතල් 30ක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවකට අදාළ නඩුවක විත්තිකරුවෙකු නිදොස් කර නිදහස් කර මුදාහරින ලෙස තඹුත්තේගම මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා නියෝග කළේය.

මෙසේ නිදොස් කොට නිදහස් කර මුදාහැරියේ තඹුත්තේගම, කලුන්දෑගම, මිනිමුතු ගම්මානය ලිපිනයේ පදිංචි එච්.එම්. ප්‍රියන්ත හේරත් යන අයයි.

නීතිවිරෝධී මත්පැන් බෝතල් 30ක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට අදාළව මෙම විත්තිකරුට එරෙහිව තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩුවට අදාළ නඩු භාණ්ඩ (සාම්පල) රජයේ රස පරීක්‍ෂකවරයාට යොමු කිරීම සම්බන්ධයෙන් ප්‍රියංකරගම පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලක්සිරි වික්‍රමගේ දිවුරා සාක්‍ෂි ලබාදෙමින් අධිකරණයට පවසා සිටියේ,

මෙම නඩුවට අදාළ නඩු භාණ්ඩ (සාම්පල) රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කිරීමට අදාළ දිවුරුම් ප්‍රකාශයේ තබා ඇති අත්සන තමා විසින් තබන ලද සත්‍ය අත්සනක් බවයි.

මේ අතර තඹුත්තේගේම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින වෙනත් නඩුවකටද ප්‍රධාන පොලිස් පක්‍ෂක ලක්සිරි වික්‍රමගේ විසින්ම අත්සන යොදා සකසන ලද තවත් දිවුරුම් ප්‍රකශයක් කෙරෙහි අවධානය යොමුකළ මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා සාක්‍ෂිකාර ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලක්සිරි වික්‍රමගේ මහතාගෙන් විමසා සිටියේ, ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා මෙම අධිකරණයේ නඩු දෙකකට අදාළව ලබා දී ඇති දිවුරුම් ප්‍රකාශ දෙකෙහි තබා ඇත්තේ, එකිනෙකට පරස්පර අත්සන් දෙකක් බවයි.



මෙම අත්සන් දෙකෙහි සත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා අදාළ අත්සන් දෙක රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යැවීමට සිදු වුවහොත් සාක්‍ෂිකාර ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාගේ රැකියාව අහිමි වීමේ අවදානමක් පවතින බවද විනිසුරු මල්වත්ත මහතා පවසා සිටියේය.

විනිසුරුවරයාගේ එම ප්‍රකාශයෙන් නිරුත්තර වූ ප්‍රියංකරගම පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලක්සිරි වික්‍රමගේ අධිකරණයට දැනුම් දුන්නේ, තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින 72680 අංක දරන නඩුවට අදාළව තමා විසින් ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශයට තබා ඇති අත්සන තමාගේ සත්‍ය අත්සන නොවන බවයි. එම අත්සන ව්‍යාජ අත්සනක් බව පිළිගන්නා බවද අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

එම තත්ත්වය මත මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන ගියද, විත්තිකරු වරදකරු කිරීමේ හැකියාවක් අධිකරණයට නොපවතින බවද පවසා සිටි මහේස්ත්‍රාත් මල්වත්ත මහතා, ඒ අනුව නීතිවිරෝධී මත්පැන් බෝතල් 30ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවෙන් විත්තිකරු නිදොස් කොට නිදහස් කර මුදාහරින ලෙස තමා නියෝග කරන බවද පැවසීය.

අනුරාධපුර - උපාලි ආනන්ද