thriposha-doctor

වෙළඳ පොළේ ඇති විවිධ ත්‍රිපෝෂ ආදේශක වර්ග හා ළදරු ආහාර වර්ගවල ඇසුරුම්වල සඳහන් උපදෙස් නිසි පරිදි අවබෝධ කර නොගෙන කුඩා දරුවන්ට ලබාදීම තුළින් දරුවන් පිළිකා රෝගවල ගොදුරක් බවට පත්විය හැකි බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.



රජය විසින් අවුරුදු 3ට අඩු දරුවන් සඳහා දැනට ත්‍රිපෝෂ ලබා දීමක් සිදු නොකරන බැවින් බොහෝ දෙමවුපියන් වෙළඳ පොළ තුළ ඇති ළදරු ආහාර වර්ග හා ත්‍රිපෝෂ දරුවන්ට ලබා දෙමින් තිබෙන බව එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසා සිටියේය.

මෙරට තුළ දෛනිකව වාර්තා වන පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යාමත්, ළදරු පිළිකා හා ළමා පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යන බවට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රකාශ කරන තත්ත්වයක් යටතේ දී ළදරු ආහාරවල ප්‍රමිතිය නිසි පරිදි නියාමනය නොවීම නිසා නොදැනුවත්වම කුඩා දරුවන් පිළිකා රෝගවලට ගොදුරු විය හැකි බවද පවසා සිටියේය.



වෙළඳ පොළේ පවතින විවිධ ත්‍රිපෝෂ වර්ග සහ ළදරු ආහාරවල සාම්පල ලබාගෙන ජාතික ප්‍රමිති කාර්යාංශයට සහ කාර්මික තාක්ෂණ ආයතනයට අදාළ සාම්පල් ලබාදී වාර්තා ලබාගෙන ඒවා ප්‍රකාශයට පත්කිරීමට තම වෘත්තීය සමිති සන්ධානය බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ප්‍රමිති කාර්යාංශය හා කාර්මික තාක්ෂණ ආයතන ඒකාබද්ධව නිසි නියාමන වැඩසටහනක් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බවත් පවසා සිටියේය.

ඇසුරුම්වල වයස අවුරුදු 03ට අඩු දරුවන්ට ලබා දිය නොහැකි බවට සඳහන් කර තිබුණත් එය සෘජුවම ජනතාවට පෙනෙන තැනක සඳහන් නොවීම නිසා ඒ සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත් මීට අමතරව බඩඉරිගු යොදා ගෙන සිදුකරන නිෂ්පාදනවලදී බඩඉරිගුවල තිබෙන ඇෆ්ලටොක්සින් අගය සඳහන් කිරීමක් සිදුනොවන බවත් සඳහන් කළේය.
ඉන්දික හේවාවිතාරණ