two-babies-death-kalubowila

කළුබෝවිල ශික්ෂණ රෝහලේදී උපත ලැබු නිවුන් බිලිඳුන් දෙදෙනෙකු දින දහහතරක් ඇතුළත සැකකටයුතු ලෙස අවස්ථා දෙකකදී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් රෝහල් පාලනාධිකාරියට එරෙහිව පැමිණිලි කර  තිබෙන අතර
සිද්ධිය පිළිබඳව කෙරෙන විමර්ශනයට අදාළව කළුබෝවිල ශික්ෂණ රෝහලේ ලේඛන පරීක්ෂාවක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙයි.
මෙම දරු දෙදෙනා ඉකුත් 19 සහ 23 දෙදින අවස්ථා දෙකකදී මියගොස් ඇත. පිළියන්දල, හොන්නන්තර , සර්වෝදය මාවත , 5 පටුමගේ , අංක 31 / 4 නිවසේ පදිංචි අකිලා බොනිපස් හා කළුනායක අලවලආරච්චිගේ හෂාන් දිල්රංග යන දෙපළට මෙම මස 23 දා ලැබීමට නියමිතව තිබූ දරු ප්‍රසූතියක් සඳහා එම කාන්තාව ඉකුත් 08 දා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී පුතෙකු සහ දියණියක ඉකුත් 09 දා උපත ලබා තිබූ අතර, අඩු බර දරු උපතක් වීම නිසා දරුවන් දෙදෙනා නොමේරු ළදරු ඒකකයට ඇතුළත් කොට සිටියදී ඉකුත් 19 දා පිරිමි දරුවා මියගොස් තිබුණි.


එහිදී දරුවා මියගොස් ඇත්තේ විෂබීජයක් ඇතුළු වීම නිසා බවට වෛද්‍යවරුන් පළමුව පවසා තිබුණත්, පසුව ශ්වසන අපහසුතාවක් නිසා දරුවා මියගිය බවට වෛද්‍යවරුන් පැවසූ බව පැමිණිල්ලේ සඳහන්ය.
මේ අතර අනෙක් ගැහැනු දරුවා ද නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබූ බව පෙරේදා (23දා) උදෑසන කිරි දීම සඳහා නොමේරු ළදරු ඒකකයට ගිය අවස්ථාවේදී එහි කාර්යමණ්ඩලය විසින් මවට දන්වා තිබේ.

මේ පිළිබඳව දරුවාගේ මව අකිලා බොනිපස් මෙසේ කීවාය.

“මේ මගේ දෙවැනි දරු උපත. මීට පෙර පුතෙක් ඉන්නව. දෙවෙනි දරු ප්‍රසූතිය සඳහා ඉකුත් 8 දා කළුබෝවිල රෝහලේ නැවතුණා · පසුදා 09 දා දුවෙක් සහ පුතෙක් ලැබුණා. පළමු බබා 19 දා මියගියා. ඊට පස්සෙ හිත හදා ගත්ත තව දරුවෙක් ඉන්න නිසා එයා හදාගෙන ජීවත් වෙනව කියල. ඒ බබා උපත ලැබූ දිනයේ සිට ඉතා හොඳ මට්ටමක සිටින බවයි වෛද්‍යවරුන් කීවෙ. බබාගේ බර තමයි අඩු. ඒ නිසා සති 34 සම්පූර්ණ වන තෙක් රෝහලේ ඉන්න වෙනවා කියලයි රෝහලෙන් අපිට කීවෙ. ඒ අනුව බබා නොමේරූ ළදරු ඒකකයේ හිටියා.

ඒත් 23 දා උදේ බබාට කිරි දෙන්න ගියාම බබා පෙන්නන්න බෑ කිව්ව.

ඇයි ඇහුවාම හේතුවක් කීවෙ නෑ, පස්සෙ තමයි 22 දාරෑ එකපාරටම දරුවාට උණ ඇවිත් ලේ මට්ටම අඩු වෙලා හදවත නැවතුණා කියල කිව්වෙ. අනේ එයාට කිසිම ලෙඩක් තිබුණෙ නෑ. එයා හොඳයි කියලනෙ දොස්තරවරුත් මාත් එක්ක කිව්වේ. මේක ගැන අපිට සැකයි. මේ ගැන පරීක්ෂණයක් කරන්න. තවත් අම්ම කෙනෙකුට මෙවන් දුකක් වෙන්න ඉඩ තියන්න එපා."

මේ සම්බන්ධයෙන් දරුවාගෙ පියා වන හෂාන් දිග මෙසේ කීය.

“අපට බරපතළ සැකයක් තියෙනවා .ඒ නිසා විධිමත් පරීක්ෂණයක් කරන්න කියල අපි ඉල්ලනව, මේ ගැන රෝහලට පැමිණිලි කළා. පසුව 23 දා කැස්බෑව පොලීසියේ පැමිණිල්ලක් කළා. පසුව මේ පිළිබඳව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා. කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදුව තිබීම නිසා එම රෝහල පිහිටි බල ප්‍රදේශය අයත් කොහුවල පොලීසියේ පැමිණිල්ල සිදු කරන ලෙසට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණ.

ඒ අනුව කොහුවල පොලීසියේ පැමිණිල්ලක් කළා.”


මේ සම්බන්ධයෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිරන්ජන් බාලක්‍රිෂ්ණන් මහතාගෙන් විමසූ විට ඔහු පැවසූවේ මේ පිළිබඳව මියගිය දරු දෙදෙනාගේ මව්පියන් පැමිණිල්ලක් කර ඇති බවත්, එය ඉදිරි විමර්ශන සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත යොමුකර ඇති බවත්ය.
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මෙම තත්වය සම්බන්ධයෙන් සැළකිල්ලට ගෙන මෙලෙස විශේෂ විමර්ශනයක් සිදුකරන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

 මත්තේගොඩ -ශාන්ත ප්‍රදිප් කුමාර කුලරත්න