vegetable-price-issue

වී මිලට අනුව සහල් මිලත්, එළවළු තොග මිලට අනුව එළවළු සිල්ලර මිලත් විකෘතියක් වී තිබෙන බවත්, මේ නිසා පාරිභෝගික ජනතාවට හා ගොවිජනතාවට දැඩි අසාධාරණයක් සිදුවෙමින් තිබෙන බවත් ජාතික ගොවිජන එකමුතුව හා පාරිභෝගික පෙරමුණ සඳහන් කරයි.

වී කිලෝවක් මිලදී ගන්නේ, රුපියල් 80ත් රුපියල් 100ත් අතර මුදලකට වන නමුත්, සහල් අලෙවි වන්නේ, කිලෝවක් රුපියල් 210ත් රුපියල් 280ත් අතර මිලකට බවත්, මේ නිසා වී කිලෝවක ගැනුම් මිල සලකා බලා සහල් කිලෝවක මිල තීරණය කරන ක්‍රමවේදයක් සකස් විය යුතු බවත් ජාතික ගොවිජන එකමුතුව පවසයි.



එසේ නොමැතිනම් දැනට පවතින සහල් මිලට අනුව වී ගැනුම් මිල ප්‍රකාශයට පත් විය යුතු බවත්, වී මිලට සාපේක්‍ෂව සහල් මිල අධික මිලක් ගෙන තිබෙන අතර, මේ නිසා පාරිභෝගික ජනතාවට අසාධාරණයක් සිදුවෙමින් තිබෙන බවත් එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා සදහන් කළේය.

එසේම වී මිල අඩු වීම නිසා ගොවීන්ට අසාධාරණයක් සිදුවෙමින් තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කර සිටියේය.

තොග වෙළෙඳ පොළවල ඊයේ (18දා) දින පැවති මිල ගණන් සැලකීමේදී ලීස් කිලෝවක තොග මිල රුපියල් 60ත්, 70ත් අතර වන බවත්, එහෙත් සිල්ලර මිල රුපියල් රුපියල් 180ත් රුපියල් 200ත් අතර මිලක් ගෙන තිබූ බවත් පාරිභෝගික පෙරමුණ සදහන් කරයි.



එසේම කැරට් කිලෝවක තොග මිල රුපියල් 120කට ආසන්න අගයක් ගෙන තිබූ බවත්, සිල්ලරට අලෙවි කිරීමේදී සමහර ප්‍රදේශවල කැරට් කිලෝවක මිල රුපියල් 300කට වැඩි මිලක් ගෙන තිබූ අතර, රාබු කිලෝවක තොග මිල රුපියල් 40ක් සහ ඒවා සිල්ලරට අලෙවි කිරීමේදී කිලෝවක මිල රුපියල් 160කට ආසන්න මිලක් ගෙන තිබූ බවත් එම සංගමය පෙන්වා දෙයි.

බොහෝ එළවළු තොග මිල සැලකීමේදී සිල්ලර මිල තුන් ගුණයක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන බවත්, මෙහිදී අතරමැදියන් විසින් අධික මුදලක් ලාභ උපයා ගන්නා බවත් එම සංගමය පවසයි.

එමෙන්ම මේ නිසා එළවළු මිල පාලනයක් ඇති කිරීමට මැනිං වෙළෙඳ පොළ හා ආර්ථික මධ්‍යස්ථාවල මිල සන්සන්දනය කරමින් වැඩපිළිවෙළක් සකස් විය යුතු බවද පාරිභෝගික පෙරමුණ වැඩිදුරටත් සඳහන් කරයි.

-ඉන්දික හේවාවිතාරණ