wanathavilluwa-land-issue

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් බලහත්කාරයෙන් අල්ලා ගන්නා ලද බව කියන, වනාතවිල්ලුව වීරක්කොඩි චෝලයි රක්ෂිත වනාන්තරයට අයත් අක්කර 165 ක ඉඩම වන සංරක්ෂක ජනරාල්වරයා වෙත වහාම ආපසු බාර දීමට පුත්තලම මහේස්ත්‍රාත් මිහිල් සතුරුසිංහ මහතා නියම කළේය.රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ පනත යටතේ,

රක්ෂිත වනාන්තරයට අයත් ඉඩම ආපසු ලබා ගැනීම සඳහා නෙරපීමේ නියෝගයක් නිකුත් කරන්නැයි වන සංරක්ෂක ජනරාල්වරයා වෙනුවෙන් පුත්තලම අඩවි වන නිලධාරිවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වීරක්කොඩි චෝලයි රක්ෂිතයේ ඉඩම් පිටස්තර පුද්ගලයන් විසින් බලහත්කාරයෙන් අල්ලාගනු ලැබ සිටින බවට පුත්තලම අඩවි වන නිලධාරිවරයා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු ගොනු කර තිබිණි. වීරක්කොඩි චෝලයි රක්ෂිතයට අයත් ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින පිටස්තර පුද්ගලයන් ඉන් නෙරපා රක්ෂිතයට අයත් ඉඩම් තමුන් වෙත බාරදීමට එම ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින පුද්ගලයන්ට නියම කරන්නැයි ඉල්ලමින් මෙලෙස නඩු පවරා තිබිණි.



රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ පනත යටතේ පුත්තලම අඩවිවන නිලධාරිවරයා පැවරූ නඩු සම්බන්ධයෙන් දීර්ඝ විභාගයක් පැවැත් වූ පුත්තලම මහේස්ත්‍රාත් මිහිල් සතුරුසිංහ මහතා රක්ෂිත වනාන්තරය බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින පිටස්තර පුද්ගලයකු එම රක්ෂිත වනාන්තරයෙන් නෙරපා හැර වහාම එහි සන්තකය වන සංරක්ෂක ජනරාල්වරයාට බාර දීමට නියම කළේය.
මනෝප්‍රිය ගුණසේකර