water-connection

සවලක් දික්කර මරණීය තර්ජනය කරමින් ජලසම්පාදන මණ්ඩලයේ වැඩ පරීක්ෂකට පහර දී ජල සැපයුම බලහත්කාරයෙන් ලබා ගත් බව කියන නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.

සැකකරු එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිද්ධිය වී දින හතරකට පොලිසියට භාරවීමෙන් අනතුරුවය.

බණ්ඩාරගම මැදගම මිණිමුතු මාවතේ නිවසක මාස කීපයක සිට නොගෙවා තිබූ රුපියල් 32,000 ක ජල බිල්පත හේතුවෙන් ජල සැපයුම විසන්ධි කිරීමට වැඩ පරීක්ෂකවරයකුගේ ප්‍රධානත්වයෙන් පයිප්ප වෑද්දුම්කරුවකු, කම්කරුවකු සහ රියැදුරකු ඉකුත් 20 වැනිදා එම නිවසට ගොස් ජල සැපයුම විසන්ධි කරන බවට දැනුවත් කර ඇති අතර වැඩ පරීක්ෂකවරයාගේ උපදෙස් මත පයිප්ප වෑද්දුම්කරු ජල සැපයුම විසන්ධි කර තිබිණි.

එසැණින් නිවස තුළ සිට පැමිණි පුද්ගලයා වැඩ පරීක්ෂකවරයාට ගලකින් පහරදී අනතුරුව ඔහුගේ කමිස කොලරයෙන් අල්ලා තර්ජනය කර පා පහරක්ද එල්ල කර ‘දීපන් යකෝ වතුර නැත්තං හතර දෙනාම මෙතැනම බාවනවා යැයි'' සවලක් ගෙන තර්ජනය කර ඇති අතර ඊට බිය වූ වැඩ පරීක්ෂකවරයා විසන්ධි කරන ලද ජල සැපයුම යථාවත් කරන ලෙස පයිප්ප වෑද්දුම්කරුට පවසා, එසේ කර එම ස්ථානයෙන් සිය පිරිස සමඟ පිට වී ගොස් පොලිසියට පැමිණිලි කර තිබිණි.



පැමිණිල්ල අනුව සැකකරු සොයා විමර්ශන සිදුකළ ද සැකකරු ප්‍රදේශය හැර පලා ගොස් සිටි අතර පෙරේදා (23) පොලිසියට පැමිණ භාර වී තිබිණි.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරි සම්පත් බණ්ඩාර මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා මහතා පරීක්ෂණ පවත්වයි.

බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ