wedding-astrology

නැකතට වැඩ කරන පියා නිසා පුතාට මනාලිය අහිමිවීමේ පුවතකි. ඔහු රාජ්‍ය ආයතනයක සාමාන්‍ය නිලධාරියෙකි. මිතුරකුගේ මාර්ගයෙන් දැන හඳුනාගත් තරුණියක හා කතාබස් කළ ඔහු කෙටි කලකදීම ඇය සිය සහකාරිය ලෙස තෝරා ගන්නට තීරණය කළේ ඒ සඳහා ඇයට බොහෝ සුදුසුකම් ඇති බව තේරුම් ගැනීම නිසාය. කලක් තිස්සේ පැවති ආදර සම්බන්ධතාවය ගැන මෙන්ම ඇය ගැනද ඔහු නිවසේ උදවියට ද පවසා සිටියේ ඇය සමඟ විවාහ විය යුතුයැයි පවුලේ පිරිසට ද යෝජනාවක් ගෙත එමිනි.

ඒ අනුව දෙපාර්ශවයේ ඥාතීන් සමඟ දුරකථන මගින් කතා කරගත් පරිදි පසුගිය දිනක මනමාල පාර්ශවයේ උදවිය මනාලියගේ පාර්ශ්වයේ නිවස බලා යාමට තීරණය කළේ

ඉපැරණි චාරිත්‍ර වාරිත්‍රවලට අනුව එය අනිවාර්යයන්ම සිදුවිය යුතු බව ද එකිනෙකාට පවසා ගනිමිනි. ඒ සඳහා දිනයක් ද තීරණය කෙරිණි. ඒ අනුව තම නිවසට පැමිණෙන දියණියගේ අනාගත සහකරුවා පිළිගන්නට මනාලියගේ පාර්ශ්වයේ උදවියද විය පැහැදම්කොට දිවා ආහාරය ඇතුළු සියලු පහසුකම් සැලසුවේ එහි කිසිඳු අඩු පාඩුවක් සිදු නොවන්ටද වග බලා ගනිමිනි.

මනාලියගේ නිවස බලා පිටත්වීමට නියමිත දිනයේ සියලු කළමනා සූදානම් කරගත් මනාල පාර්ශවයේ පිරිස නිවසට ගෙන්වා ගත් වත් රථයකින් මනාලියගේ නිවස බලා යාමට පිටත් වූයේ නැකතට වැඩකරන පියා විසින් සකස් කරදෙන ලද නැකත් වේලා ටක්කේටම අනුමනය කරමිනි.පිරිස නිවසින් එළියට බසින විටම බුරාගෙන ඉදිරියට පැමිණි. එම නිවසේම ඇති දැඩි කරන සුරතල් සුනඛයා කීප විටක් නගුට වනා කණපට ගසමින් පිරිසට ආචාර සමාචාර දැක්වූයේ සුනඛ ගතිය ඔවුන් යන ගමනට බාධාවක් වෙතැයි නොදන්නාකම නිසාය.



එහෙත් සුනඛයාගේ ක්‍රියාවෙන් මුහුණ ඇඹුල්කරගත් මනාලියගේ පියා ආපසු නිවසට රිංගා ගත්තේ  "මේ ගමන අදනම් කීයටවත් යන්න බැහැ. මේක අසුබයි” කියමිනි. පියාගේ අදහස් වෙනස් කිරීමට පවුලේ සෙසු අය කොතෙක් උත්සාහ කළ ද ඉන් පලක් නොවිණි. අවසානයේදී මනාලියගේ නිවසට දුරකතන ඇමතුමක් දී සිද්ධිය පහදා දෙන්නට මනාලයා  කොතෙක් උත්සහා කළද දුරකථනය අතට ගත් ගුරු මහතෙකු වූ මනාලියගේ පියා පවසා ඇත්තේ "ඔයවගේ හණමිටි අදහස් තියන මිනිස්සු මෙහේ ආයේ නාවාට කමක් නැහැ '' යනුවෙනි.