weli-meassa-health-issue

මෙරට වියළි කලාපයේ ජන ජීවිතයට විශාල හානිකර බලපෑමක් එල්ල කරමින් පැතිර යන වැලිමැස්සා නමැති පරපෝෂිත කෘමියාගෙන් බෝවන මාරාන්තික චර්ම රෝගයක් පිළිබඳව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

මේ දිනවල හසලක හා මහියංගනය යන ප්‍රදේශවල බහුලව දැකිය හැකි මෙම කෘමියා දිවයිනේ වෙනත් ප්‍රදේශවලින් ද හඳුනාගත හැක.



රාත්‍රියේදී හා සවස් කාලයේදී ශරීරයේ නිරාවරණය වූ ස්ථානවලට දෂ්ට කරන මෙම කෘමියා ජලය රැඳෙන සිසිල් ස්ථානවල බිත්තර දැමීම සිදුකරයි. නිවාස පරිශ්‍ර හා ගෙවතු මෙන්ම ආයතන පරිශ්‍ර හා අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම මගින් මෙම වැලි මැස්සා බෝවීම පාලනය කර ගත හැකි බව තෙල්දෙනිය මූලික රෝහලේ වැඩබලන චර්ම රෝග විශේෂඥ වෛද්‍ය එම්. ආර්. එෆ්. ෂීරින් මහත්මිය පවසයි.

මෙම රෝගය පිළිබඳව හා ඊට අදාළ ප්‍රතිකාර පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ඉකුත් 25 දා හසලක ප්‍රාදේශීය රෝහලේ පැවති විශේෂ සායනයකදී වෛද්‍යවරිය මෙම කරුණු අනාවරණය කළාය.



යම් වේදනාවක්, තුවාලයක් හෝ ගැටිත්තක් වැනි දෙයක් වැලි මැස්සා දෂ්ට කළ ස්ථානයක් ලෙස සැක කළ හැක. මෙම රෝග ලක්‍ෂණ පවතී නම් නොපමාව රජයේ රෝහලක් වෙත ගොස් ප්‍රතිකාර ගත යුතු බවත් මෙම රෝගය සඳහා ප්‍රතිකාර ක්‍රම කිහිපයක්ම පවතින බවත් විශේෂඥ වෛi ෂීරින් මහත්මිය මෙහිදී කීවාය. සෙල්සියස් අංශක 50 ඉක්මවා රත් කළ හැන්දකින් ආසාදිත ස්ථාන තැවීම, එන්නත් ලබාදීම හා ලික්විඩ් නයිට්‍රජන් ප්‍රතිකාරය මේ සඳහා සිදුකරන බව ද වෛද්‍යවරිය කීවාය.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන