weligama-hotel-story

වැලිගම කුඹල්ගම කුරුදුවත්ත පුදේශයේ සංචාරක නිකේතනයක ලැගුම් ගෙන සිටි ඊජිප්තු ජාතිකයකු පෙරේදා (2) පස්වරුවේ හෝටල්හිමිකරුට තියුණු ආයුධයකින් පහරදී ඔහු නැවතී සිටි කාමරයට ගිනි තබා ඔහු ද එම ගිනිගොඩට පැන ඇතැයි වැලිගම පොලිසිය කියයි.

පිලිස්සීමෙන් තුවාල ලැබූ ඊජිප්තු ජාතික සංචාරකයා අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්‍ෂාව යටතේ මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද වැලිගම පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

මෙම තිස්තුන් හැවිරිදි ඊජිප්තු ජාතිකයා මාස තුනක පමණ කාලයක සිට එම සංචාරක නිකේතනයේ ලැගුම් ගෙන සිට ඇති බවද, ඔහු අවසන් මාසයට හෝටල් ගාස්තු නොගෙවීම නිසා හෝටල්හිමිකරු සමඟ විරසකයක් ඇති කරගෙන සිට ඇති බව ද මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
මෙම සංචාරකයාට මෙතරම් කාලයක් ලංකාවේ රැඳී සිටීමට වීසා ලැබී තිබීම ගැන පරීක්ෂණයක් පවත්වන බවද පොලිසිය කියයි.



හෝටල්හිමිකරු පෙරේදා පස්වරුවේ සංචාරකයාගෙන් ගාස්තු ඉල්ලු අවස්ථාවේ දෙදෙනා දැඩි ලෙස බහින් බස් වී ඇති බවද ඉන් උරණ වූ සංචාරකයා හෝටල් හිමිකරුට තියුණු ආයුධයකින් පහර දී තිබූ බවද පොලිසිය සඳහන් කරයි.
හෝටල් හිමිකරුට පහර දීමෙන් පසුව ඔහු ලැගුම්ගෙන සිටි කාමරයේ කොට්ට, මෙට්ට වලට ගිනි තබා ගෑස් සිලින්ඩරයක් ද ගෙනැවිත් දමා සංචාරකයා ද ගිනි ගොඩට පැන ඇති අතර පොලිසිය එහි ගොස් ඔහු බේරා ගෙන රෝහල් ගත කළ බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

සිද්ධිය වූ අවස්ථාවේ විදේශීය සංචාරකයන් තවත් පිරිසක් එම නිකේතනයේ ලැගුම් ගෙන සිටි අතර ඔවුන්ට කිසිදු හානියක් නැතැයි ද ඔහු කීය. සංචාරක නිකේතනයේ ගෘහභාණ්ඩ රැසකට ගින්නෙන් හානි සිදුවී
තිබූ බවද පොලිස් නිලධාරියෙක් පැවසීය.

සංචාරකයාගේ තත්ත්වය බරපතළ නොවන බව මාතර රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
වැලිගම මූලස්ථාන පොලිසියේ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.