wellampitiya-murder-details

පසුගිය දිනක වැල්ලම්පිටිය, කිත්තම්පහුව ශ්‍රී විවේකාරාමය අසලදී ත්‍රිරෝද රථ රියදුරකු වෙඩි තබා ඝාතනය කළේය. ඒ ගැන විමර්ශන සිදුකරනු ලැබුවේ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයය. එමගින් අනාවරණය වී ඇත්තේ මේ ඝාතනය පසුපස ප්‍රේම වෘත්තාන්තයක් පවතින බවය.

වැල්ලම්පිටිය, කිත්තම්පහුව ශ්‍රී විවේකාරාමය ඉදිරිපිටදී ඝාතනයට ලක් වූයේ මෝදර, මාදම්පිටිය පාරේ පදිංචි මොහොමඩ් තමීම් මොහොමඩ් සාජහාන් නැමති 47 හැවිරිදි පුද්ගලයෙකි. මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හෝ වෙනත් අනීතික වැඩවලට කිසිදු සම්බන්ධයක් නොතිබූ සාජහාන් නිරන්තරයෙන්ම සමාජයේ හොඳ නමක් දිනාගත් අයකු විය. ක

ොළඹ, කොටුව, දෙවන හරස් විදියේ රෙදිපිළි වෙළඳාම මෙන්ම ත්‍රිරෝද රථ රැකියාවෙන් උපයන ආදායමෙන් ඔහු සිය පවුල නඩත්තු කළේය. මෙවන් පසුබිමක් ඇති සාජහාන්ගේ ඝාතනය පිළිබඳ වැල්ලම්පිටිය පොලිසිය මූලික විමර්ශන කරගෙන යන අතරතුර බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වෙනම පැතිකඩක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කරන්නට විය.

මෙම කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකරගේ මෙහෙයවීම මත සිදුකරන ලද විමර්ශන අතරතුර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහටත්, පොලිස් පරීක්ෂක හේමන්ත කුමාරටත් ලැබූ තොරතුරක් මේ ඝාතනයේ අභිරහසේ සුල මුල සොයා යන ගමනට බෙහෙවින් ඉවහල් විය. ඒ සාජහාන් සමග නිරන්තරයෙන් කුලී හයර් යන කාන්තාවක ගැනය. මෝදර ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව ඩිලානි නමැති කතකි. ඇය පොලිසිය බාරයට ගෙන ප්‍රශ්න කරන්නට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පියවර ගෙන තිබුණේ ඒ අනුවය.

''සර් මම මෙයාව හඳුනන්නේ දැන් මාසයක ඉඳන්. මට කොටහේනේ ඇලෙක්සැන්ඩර් තමයි මෙයා එක්ක සම්බන්ධකම් තියාගන්න කීවේ. ඇලෙක්සැන්ඩර්ව මම දන්නවා කලින් ඉඳලම. මට වෙනම ෆෝන් එකකුයි සිම් එකකුයි දීලා මෙයා එක්ක කතා කරන්න කීවා. ඒ ෆෝන් එකෙන් මෙයා එක්ක විතරයි මම කතා කළේ. මෙයා එක්ක ආලකම් පාන්න මට දවසට පන්දහස ගානේ දුන්නා'' යැයි ඇය කීවාය.

ඩිලානි මෝදර ප්‍රදේශයේ කාන්තාවක වන අතර ඇය කොටහේනේ අලෙක්සැන්ඩර් නැමැත්තා හා එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මුදල් එක්රැස් කිරීම සිදුකර ඇත. සාජහාන් නැමැත්තාව ඝාතනය කිරීමේ සැලසුමට අනුව ඔහුව වැල්ලම්පිටිය, කිත්තම්පහුව විවේකාරාම විහාරස්ථානය අසලට ගෙන්වාගෙන ඇත්තේද මෙම කාන්තාවය. ඒ ඇලෙක්සැන්ඩර්ගේ උපදෙස් මතය. සාජහාන් වෙඩි තබා ඝාතනය වන්නේද මෙම කාන්තාවගේ දුරකතන ඇමතුමට අනුව පැමිණි අවස්ථාවේදීය.

සැකකාරිය පොලිසියට වැඩිදුරටත් පවසා තිබුණේ ''මේ මිනිහව මරන්න ඉන්නවා කියලා මම දන්නවා. ගෙන්නුවෙත් මරන්න කියලා දන්නවා. හැබැයි මැරුවේ කවුද කියලා දන්නෙ නැහැ'' යනුවෙනි.

මේ අනුව බස්නාහිර පළාත දකුණ කොට්ඨාසයේ නිලධාරීන් කොටහේන ප්‍රදේශයට ගියේ ඇලෙක්සැන්ඩර් නැමැත්තා සොයා ගෙනය. ඇලෙක්සැන්ඩර් යනු මෙරට මහා පරිමාණ සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කිඹුලා ඇලේ ගුණා, පූකුඩිකන්නා, පොඩි සුරේෂ්, බ්ලූමැන්ඩල් රවී යන විදෙස්ගත අපරාධකරුවන්ගේ සමීපතමයෙකි. ඇලෙක්සැන්ඩර් මේ වනවිට බ්ලූමැන්ඩල් රවීගේ කළමනාකරු ලෙස කටයුතු කරයි. සැකකරු රවීගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් ලැබෙන මුදල් උණ්ඩියල් ක්‍රමය මගින් එතෙරට යවන පුද්ගලයා බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ. මොහු සියලු ගණුදෙනුවලට අදාළ ගිණුම් පොත්ද පවත්වාගෙන ගොස් ඇති අතර ඒ සියල්ල කලට වේලාවට යාවත්කාලීන කර ඇත. මොහුගේ නිවසේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් දාහත් ලක්ෂ හැට දහසකට ආසන්න මුදල්, වාහනවල ආදායම් හා රක්ෂණ බලපත්‍ර 20ක්, ජංගම දුරකතන 10ක්, සිම්පත් මෙන්ම ගිණුම් වාර්තා ගණනාවක් සොයාගෙන තිබිණි. මේ අනුව වැල්ලම්පිටියේ ඝාතනයට මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුගෙන් හා ප්‍රථමයෙන් අත්අඩංගුවට ගත් සැකකාරියගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී සාජහාන් නැමැත්තා ඝාතනයේ සුලමුල හෙළිකර ගැනීමට විමර්ශන නිලධාරින්ට හැකිවිය. ඝාතනයට ලක්වූ සාජාහන් නැමැත්තා සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පූකුඩිකන්නාගේ නැගණිය හා පෙම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් පසුව එය අතහැර ඇති පුද්ගලයෙකි. පූකුඩිකන්නාගේ සමීපතමයකු වන බ්ලූමැන්ඩල් රවී ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධාන්තමක අපරාධකරුවකු වන අතර ඔහු මේ වනවිට රැඳී සිටින්නේ ඩුබායිවලය.

රවීගේ සමීපතමයෙකුගේ බිරිඳ සමග ඝාතනයට ලක්වූ පුද්ගලයා අනියම් සම්බන්ධයක් පවත්වා ඇති අතර එය එම කාන්තාවගේ සැමියාට බරපතළ ප්‍රශ්නයක් වී තිබිණි.

මුල් අවස්ථාවල තර්ජන හා අවවාද මැද සාජාහාන් මෙම සම්බන්ධය අත්හැර ඇතත් අදාළ කාන්තාව සාජාහාන් නැමැත්තා පසුපසම පැමිණීම නිසා මොහුව ඝාතනය කිරීමට තීරණය කර ඇත. මේ අනුව පසුගිය ජූලි 28 වැනිදා ඩිලානි නම් සැකකාර කාන්තාවට ජංගම දුරකතනයක් හා සිම්පතක් ලබාදී එමගින් කතා කිරීමට උපදෙස් දී තිබුණේ සාජාහාන් නැමැත්තාට පමණි. මේ අනුව මෙම කාන්තාව සාජාහාන් නැමැත්තා සමග කුලී හයර් ගොස් ඔහු හා සමීප වී ඇත. පසුගිය 28 වැනිදා මෙම කාන්තාවට උපදෙස් දී ඇත්තේ සාජාහන්ව වැල්ලම්පිටිය, කිත්තම්පහුව ශ්‍රී විවේකාරමය අසලට ගෙන්වා ගන්නා ලෙසය. ඇයගේ පණිවුඩයට සාජාහාන් නැමැත්තා සිය ත්‍රිරෝද රථයෙන් පැමණි අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා ඝාතනය කර තිබේ. මෙම සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු හා යතුරුපැදිකරු ගැනද තොරතුරු අනාවරණය වී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

මෙම විමර්ශනයේදී තවත් කරුණක් අනාවරණය වී තිබිණි. සාජාහන් ඝාතනයට එවූ වෙඩික්කරු හා යතුරුපැදිකරු කොළ පැහැ ත්‍රිරෝද රථයකින් කැටුව විත් තිබෙන බවය. අදාළ ත්‍රිරෝද රථය බ්ලූමැන්ඩල් මහල් නිවාස සංකීර්ණයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයකුට අයත් වූවක් වන අතර සැකකරු සොයා ඔහුගේ නිවසට ගියත් සැකකරු ප්‍රදේශයෙන් පැනගොස් තිබිණි. පසුව නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය හමුවට බාර වූ සැකකරු අත්අඩංගුවට ගත් අතර ඔහු විසින් ඝාතකයින්ට යතුරුපැදියද සපයා ඇති බව එහිදී අනාවරණය වී ඇත.

ඝාතනයෙන් පසු වෙඩික්කරු හා යතුරුපැදිකරු, යතුරුපැදිය සහ 3.8 වර්ගයේ ගිනි අවිය මෙම සැකකරුට බාර දී තිබේ. ඔහු යතුරුපැදිය බ්ලූමැන්ඩල් රථගාලේ ගාල්කර ගිනි අවිය නිවසේ සඟවා තබා තිබී ඇත. ගිනි අවිය හා යතුරුපැදිය පොලිසිය භාරයට ගෙන තිබුණු අතර යතුරුපැදිය කොරෝනා සමයේදී කොට්ටාව ප්‍රදේශයෙන් සොරාගත් එකක් යැයිද මෙහිදී හෙළිවිය.

බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ, පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර, පොලිස් සැරයන්වරුන් වන 40248 ප්‍රසන්න, 69598 අනිල්, 72977 චමින්ද, 53252 විජිත, පොලිස් කොස්තාපල්වරුන් වන 72338 ලලන්ත, 84762 කුමාර, 104675 කේසර, 104870 විජේරත්න යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

(එස්. අස්ලම්)