whats-app-love-dead-end

වට්ස්ඇප් සමාජ මාධ්‍ය හරහා බිරිය තරුණයකු සමඟ කෙටි පණිවිඩ හුවමාරු කර ගත්තැයි සැමියා එම තරුණයා පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී ඝාතනය කර ඇති බව සපුගස්කන්ද පොලිසිය පවසයි.

ඉකුත් අප්‍රේල් 19 දින සැකකරුවන්ගේ හා සැකකාරියන්ගේ පහර කෑමට ලක් වූ තරුණයා මාස 5කට අධික කාලයක් පුරා සිහිසුන්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 12 දින මියගොස් තිබුණි.


තරුණයා සමග සමාජ මාධ්‍ය ගිණුම හරහා පණිවිඩ හුවමාරු කරගත් කාන්තාව, ඇගේ මව සැමියා සහ තවත් පුද්ගලයන් දෙදෙනකු ඔවුන් පදිංචි ගම් ප්‍රදේශවලින් පලාගොස් සැඟව සිටින බවද පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ හඟුරන්කෙත, බඹරගම ප්‍රදේශයේ පදිංචි ඉන්දුනිල් චාමර කාරියප්පෙරුම (21) නමැති කොරියානු භාෂා පාඨමාලාවක් හදාරමින් සිටි තරුණයකු බව පොලිසිය පවසයි.

මෙම තරුණයා වට්ස්ඇප් සමාජ මාධ්‍ය ගිණුම හරහා හඳුනාගත් කාන්තාවක සමග කෙටි පණිවිඩ හරහා ඡායාරූප හුවමාරු කරගෙන ඇති බවත් එම කාන්තාව අවුරුදු 44ක විවාහක කාන්තාවක බවට තරුණයා දැනගෙන නොමැති බවද පොලිසිය සඳහන් කරයි.

මෙම තරුණයා කොරියා භාෂා පාඨමාලාව හැදෑරීම සඳහා යාමට ඉකුත් අප්‍රේල් 19 දින කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණ සිටි අවස්ථාවේ ඉහත කාන්තාව, ඇගේ සැමියා සහ සෙසු පිරිස මෝටර් රථයකින් හා ත්‍රිරෝද රථයකින් ඔහු පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දී සපුගස්කන්ද පමුණු විල කනත්ත ආසන්නයේ දමා ගොස් තිබියදී පොලිසියට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය පැමිණ බරපතළ තුවාල ලබා සිහිසුන්ව වැටී සිටි තරුණයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබුණි.



මෙම තරුණයාට පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් එවකට පොලිසිය ඉහත සැකකාරියන් දෙදෙනා හා සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඩ් බාරයෙන් සිට ඇපමත මුදාහැර තිබුණි.
සැකකරුවන්ගේ පහර කෑමට ලක් වූ තරුණයා මාස 5 පසුව මියයාම හේතුවෙන් එම ඝාතනය සම්බන්ධයෙන් ඉහත පිරිස අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ එම පිරිස සිය ගම් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද පොලිසිය පවසයි.
සැකකරුවන් හා සැකකාරියන් වැල්ලම් පිටිය, ග්‍රෑන්ඩ්පාස්, කිරිබත්ගොඩ හා ගෝනවල පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි. සපුගස්කන්ද පොලිසිය සැක කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වයි.

ඉන්දිකා රාමනායක