ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු වෙරළේදී ගිනි ගෙන සාගරයේ ගිලී ගිය එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මගින් මෙරට වෙත ලබා දෙන අතරමැදි ගෙවීමක් ලෙස එක්සත් ජනපද ඩොලර් 890,000ක් සහ රුපියල් මිලියන 16ක මුදලක් ලබාදීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි.

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා විසින් ඊයේ (24දා) මේ පිළිබඳව අනාවරණය කර තිබේ.

මෙහිදී අදාළ නෞකාවේ රක්ෂණ සමාගම මගින් මෙම ගෙවීම සිදු කරන බව පැවසෙයි.

ඒ අනුව මෙම විනාශය අවස්ථාවේදී මෙරට වෙරළ තීරය වෙත සිදු වූ හානිය වැළැක්වීම සඳහා එම වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම් වෙනුවෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සිදුකළ පිරිවැය සඳහා සහ ඉන් බලපෑමට ලක් වූ ධීවර ප්‍රජාව වෙත ලබා දෙන අතරමැදි වන්දි මුදලක් ලෙස මෙම මුදල් ලබා දීම සිදුව තිබේ.

2021 වසරේ මැයි 20 වැනිදා සිදු වූ මෙම සිදුවීම එතෙක් මෙතෙක් සිදු වුණු දරුණුතම සමුද්‍රීය පරිසර විනාශයක් ලෙසින්ද සැලකෙයි.

මෙම නෞකාව ගිනිගෙන මුහුදුබත් වන අවස්ථාව වනවිට එහි බහාලුම් 1500ක් තිබූ අතර ඒ අතර නයිට්‍රික් අම්ලය ටොන් 25ක්ද පැවතුණි.

නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් එහි තිබූ බහාලුම් සාගරයට වැටුණු අතර, ඒවා තුළ ප්ලාස්ටික්, රසායනික ද්‍රව්‍ය ඇතුළුව තවත් අහිතකර ද්‍රව්‍ය රැසක්ම සාගරයට එකතු විය.

 භානුක අමරසිංහ