කැබිතිගොල්ලෑවේ, ගෝසිංග වන අරණේ පැවිදි පින්කමෙන් පසු තම පුතු පසුව මහණ කරවීමේ අටියෙන් පුතුගේ මව හා පියා සසුන් ගතවීම පසුගියදා සමාජ මාධ්‍ය තුළ විශේෂ කථාබහක් ඇති කළ අතර ඒ සම්බන්ධ විවේචන මතුවූයේ අවුරුදු 4 දරුවෙකුට විකාල භෝජන හුරුකරවීම, දරුවාගේ කැමැත්ත නැතිව මහණ කරවීම හා දරුවාට අධයාපනය ලබාදීමට උනන්දු නොවීම යන කතා ඒ ඇසුරින් පැනනැගුණ නිසාය.
මෙම කතා වලට දරුවාගේ මව යශෝධරා මෙහෙණින් වහන්සේ (වත්සලා දුෂ්මන්ති අබේරත්න) පිලිතුරු ලබාදී තිබේ. සතිඅන්ත පුවත්පතකින් ඇගෙන් ඇසූ ප්‍රශ්න වලට ඇය මෙසේ පවසා ඇත.

 මෙහෙණින් වහන්ස දැන් ඔබගේ දරුවාගේ ජීවිතයට මොකද වෙන්නේ?

“මගේ පුතාට තාම අවුරුදු හතරයි. එයා තාම පොඩියි. එයත් කැමැත්තෙන් ඉන්නවා සසුන්ගත වෙන්න. ඒත් එයා පොඩි හින්දා තාම එයාව මහණ කරන්න බෑ, මොකද එයාට විකාල භෝජන ශික්ෂා පදය රකින්න තවම අමාරුයි. පොඩි නිසා සැරින් සැරේ පුතා කෑම ඉල්ලනවා. එනිසා අපි ලොකු හාමුදුරුවන්ටත් ඒ බව දැනුම් දීලා අපි දැන් ඔහුව ඒ සඳහා සුදානම් කරනවා, ඒකට ටික කාලයක් ගතවෙයි. දැන් එයා ආරණ්‍යයේ සතුටින් ජීවත් වෙනවා. එයා සෙල්ලම් කරනවා. සාමාන්‍ය විදිහට එයා ඉන්නවා."



එතකොට මෙහෙණින් වහන්ස, ඔබගේ දරුවාගේ අධ්‍යාපනය කොහොමද?

"මං ගුරුවරියක්. ඒ නිසා මට ළමයාට උගන්වන්න පුළුවන්. අද මොන්ටිසෝරියකට යැව්වත් කරන්නේ චිත්‍ර පාට කරන එකනේ. මං එයාට අකුරු කියලා දෙනවා.

 දරුවා පැවිදි කිරීමෙන් පසුව පිරිවෙන් අධ්‍යාපනයකට යොමු කරනවාද?


 “නැහැ. පිරිවෙන්වල මෙන්ම අපේ කැම්පස්වලත් භික්ෂුන් වහන්සේ හිටියා ධර්මානුකූල හැසිරීම් නැති.
 අනෙක අපි පැවිදි වෙලා ඉන්නේ. අපිට බාහිර අධ්‍යාපනයක් වුවමනා නෑ, අපේ අරමුණ ධර්මය ඉගෙන ගැනීමයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විද්වතුන් දරන්නේ වෙනත් මතයන්ය. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය අමරසිංහ මෙසේ කියා තිබේ.

මෙරට නීතිය අනුව වයස අවුරුදු 16ට අඩු දරුවන් පාසල් යැවීම අනිවාර්යයි, සාමනේර නමක් නම් උන්වහන්සේ පිරිවෙන් අධ්‍යාපනයකට යොමු කරන්න ඕනේ. මෙම අධ්‍යාපන අයිතිය කාටවත් උදුරාගන්න බෑ, ඒ වෙනුවෙන් නීති සකස් වෙලා තියෙනවා.
එම නීතිවලට අත්අඩංගුවට ගතහොත් ඊට අධිකරණයෙන් දඬුවම් පවා නියම වෙනවා, මෙවැනි පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියා කරන්න අප ආයතනය බැඳිලා ඉන්නවා, මේ පිළිබඳව සමාජ මාධ්‍ය, මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවල පළවීමත් සමඟ මේ සම්බන්ධයෙන් අප සොයා බලනවා, නමුත් යම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබීලා නෑ දරුවන් සම්බන්ධයෙන් සිදුවන පැමිණිලි අප අධිකාරියේ 1929 යන අංකය හරහා ලබා දෙන්නත් පුළුවන්.



නීතිඥ මංජු ශ්‍රී චන්දුසේන මේ පිළිබඳව අදහස් දක්වමින් කීවේ,

මෙරට නීතිය අනුව 'ළමයා' යනුවෙන් අදහස් වන්නේ වයස 18ට අඩු තැනැත්තෙකි.  3 වැනි වැව්‍යවස්ථාවේ 1(අ) (ආ) (ඇ) උප ව්‍යවස්ථාවලට අනුව දරුවකුට සිදුවන සියලුම් ආකාරයේ අයහපත් ක්‍රියා වළක්වා ගැනීමට නිසි ක්‍රියාමාර්ග ගැනීම රජයේ වගකීමකි. ඒ සඳහා ළමා ආරක්ෂක අධිකාරිය සහ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වැනි ආයතන හරහා රජය ක්‍රියාත්මක විය යුතුය.
එහෙම දරුවකුට අනතුරක්, අයහපතක් වන විධියට මවුපියන් ක්‍රියා කරනවා නම් එය 1973 ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 308 වගන්තිය යටතේ වසර 7ක් දක්වා සිරදඩුවම් දිය හැකි අපරාධමය වරදක් වෙනවා.
මවුපියන් ඔවුන්ගේ යහපතට ගන්නා ක්‍රියාමාර්ගවලින් දරුවන්ට අගතියක් වෙන්න බෑ. ඒ නිසා මවුපියන් " මහණ වී" යන සාධකය දරුවට අගතිගාමී අයුරින් බලපානවා නම් ඒ අයට එරෙහිව නඩු දාන්න පුළුවන්. මෙතැනදී මවුපියන් මහණ වෙන්න යන්නේ දරුවාව වෙනත් මවුපිය දෙපළකට කුලවැද්දීමක් හෝ නොකරයි. එය බරපතළ තත්ත්වයක්.
එසේම 1995 අංක 22 දරන පනතින් හඳුන්වා දුන් 308 (අ) වගන්තිය යටතේත් දඬුවම් ලැබිය යුතු වරදක් ඒ මවුපියන් සිද්ධ කරලා තියෙනවා.”