2023-cricket-world-cup-begins

ක්‍රිකට් ක්‍රීඩාවේ වඩා වැදගත් මෙන්ම ලොව වැඩිම අවධානය දිනාගත් තරගාවලියක් වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේදී අද (05දා) ආරම්භ වේ. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10ක් සහභාගි වන මෙවර තරගාවලිය, එළඹෙන නොවැම්බර් මස 19වැනිදා දක්වා සමස්ත ඉන්දියාව ආවරණය වන පරිදි ක්‍රීඩාංගණ 10කදී පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙය එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ 13වැනි අදියර වන අතර, ඉන්දීය සත්කාරක අයිතිය යටතේ සියලුම තරග ඉන්දියාවේදී පමණක් පැවැත්වෙන පළමු අවස්ථාවද මෙය වෙයි.

1975 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන එක්දින ලෝක කුසලානයේ මේ දක්වා පැවති අදියර අතරින් වැඩි වාසි හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වී ඇත.

ඔවුන් අවස්ථා 05කදී, එනම් 1987, 1999, 2003, 2007 හා 2015 යන වර්ෂයන්හි ශූරතාව දිනාගෙන ඇත. ඊට අමතරව ඉන්දියාව (1983, 2011) හා බ.ඉ. කොදෙව් (1975, 1979) අවස්ථා දෙකකදී ශූරතාව දිනාගෙන ඇත.

සෑම ලෝක කුසලාන තරගාවලියක්ම නියෝජනය කළ ශ්‍රී ලංකාව, මේ දක්වා ලෝක කුසලාන සිහිනය සැබෑ කර ගත් කණ්ඩායම් හයෙන් එකකි. 1996 වර්ෂයේදී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් ලෝක කුසලාන ශූරයන් ලෙස කිරුළු පැලඳි ශ්‍රී ලංකාව, 2007 හා 2011 වර්ෂවලදී ලෝක අනුශූරයන් ලෙසද දක්‍ෂතා දක්වා ඇත. ශ්‍රී ලංකාව සමගින් මේ වනවිට සෑම එක්දින ලෝක කුසලානයක්ම නියෝජනය කර ඇත්තේ ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, එංගලන්තය, බ.ඉ.කොදෙව් හා නවසීලන්ත කණ්ඩායම්ය. කෙසේ නමුත් දෙවරක් ලෝක ශූර කොදෙව්වන්ට අවාසනාවන්ත ලෙස මෙවර තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූයේ, තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට පසුගිය ජුනි හා ජූලි මාසයන්හිදී පැවති තරගාවලියෙන් පරාජයට පත්වීම හේතුවෙනි.

ශ්‍රී ලංකාවට මෙවර ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට, සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදුවිය. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ මෙවන්නක් සිදු වූ පළමු වතාවට මෙයයි.

ඍජුව සුදුසුකම් ලබාගැනීමේ ශ්‍රේණිගත මට්ටමට ළඟාවීමට අපොහොසත්වීම හේතුවෙන් එම සුදුසුකම් ලැබීමේ තරගාවලිය ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

කෙසේ වෙතත් එම තරගාවලියේ ශූරතාව පහසුවෙන් දිනාගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවටද පත්වෙමිනි. ශ්‍රී ලංකාවට අමතරව මෙම තරගාවලියෙන් නෙදර්ලන්තයට ලෝක කුසලාන වරම් හිමිවිය.

තරග ආරම්භ කරමින් පළමු තරගය වත්මන් ලෝක ශූරයන් වන එංගලන්තය හා අනුශූරයන්වන නවසීලන්තය අතර පැවැත්වේ. මෙම තරගය ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන, ක්‍රීඩාලෝලීන් 130,000කට අසුන්ගත හැකි අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගය ප.ව. 2.00ට ආරම්භ වේ.

    ඕෂිත වරකපිටිය