88-mother-mawathagama-story

අවුරුදු 88 ක වයසේ පසුවන මව රැකබලා ගැනීමට දරුවන් 8 දෙනාටම නොහැකි බව පැවසීම නිසා එම වයෝවෘද්ධ මව වැඩිහිටි නිවෙසකට ඇතුළත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ දරුවන් නොමැතිව වැඩිහිටි නිවෙසක ඉන්න බැහැ යැයි කියමින් හඬා වැටීමේ හද සසල කරවන අනුවේදනීය පුවතක් මාවතගම පොලීසියෙන් වාර්තා විය.



“අනේ මාව වැඩිහිටි නිවසකට දාන්න එපා නෝනේ. මට කන්න බොන්න ඕනෑ නැහැ, ඇල් වතුර හරි කහට උගුරක් හරි බීලා කුසගින්න නිවාගෙන දරුවන් ළඟට වෙලා ඉන්නම්. මට ඒක සැපයි" කියමින් මෙම වයෝවෘද්ධ මාතාව මාවතගම පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ති පුෂ්පලතා මහත්මිය සහ කාන්තා උපපොලිස් පරීක්ෂක දිසානායක මහත්මිය ඇතුළු පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් හමුවේ හඬා වැලපී ඇතැයි කියති.“බොහොම දුක් මහන්සිවෙලා දරුවෝ අට දෙනෙක් මම ලොකු මහත් කළේ” යැයිද ඇය පවසා ඇත්තේ හඬා වැටෙමිනි.මාවතගම පොලිසිය පවසන ආකාරයට සිද්ධිය මෙසේය.



88 හැවිරිදි වියේ,පසුවන මෙම මවට දූවරුන් සිව් දෙනකු සහ පුතුන් සිව් දෙනකු සිටින අතර, බාල පුතා හැරෙන්නට අනිත් සියලු දෙනාම විවාහ වී දරුමල්ලෝ ද සිටිති.තමාට රැකබලා ගැනීමට නොහැකි බව පවසා එක් දියණියක මව නිවසින් එළියට ඇද දමා ඇතැයි කියති. මෙම වයෝවෘද්ධ මාතාව හැරමිටියක ආධාරයෙන් ඉබාගාතේ යමින් සිටියදී මාවතගම කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය අසලට වෙහෙස නිවා ගැනීමට පැමිණ සිටියදී එම කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරීන් සහ නිලධාරිනියන් ඇය ගැන තොරතුරු විමසා සත්කාර කර ඇය ගැන මාවතගම පොලීසියට දැනුම් දී තිබේ.

මාවතගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ති පුෂ්පලතා මහත්මිය ඇතුළු පොලිස් නිලධාරීහු සහ නිලධාරිනියෝ කණ්ඩායමක් එහි ගොස් මෙම වයෝවෘද්ධ මව ඔවුන්ගේ භාරයට ගෙන මාවතගම රෝහලට ඇතුළත් කර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට මුලින්ම කටයුතු කළහ.දරුවන් අට දෙනා තමන් රැක බලා ගැනීම ප්‍රතික්ෂේප කරන බව පැවසූ නිසා එම දරුවන් අට දෙනාගේ වගතුග හොයාගෙන පොලිසියට පැමිණෙන ලෙස ඔවුන් පදිංචිව සිටින ප්‍රදේශවල පොලිස් ස්ථාන මගින් දැනුම්දීමක් කළ බව පොලීසිය පැවසීය.මෙම දැනුම්දීම අනුව පැමිණ ඇත්තේ දරුවන් තිදෙනකු පමණක් බව පොලීසිය කියයි.



එක් දියණියක වයෝවෘද්ධ පියා ද රැකබලා ගන්නා නිසා ඇයට මව රැකබලා ගැනීමට තරම් හැකියාවක් නොමැති බව පොලිසියේ දී පවසා ඇතැයි කියති.මෙම වයෝවෘද්ධ මවගේ හයවැනි පුත්‍රයා බිරිඳ සහ දරුවන් සමග තහඩුවලින් සාදාගන්නා ලද කුඩා නිවසක ජීවත් වන නිසා මව එම නිවසේ තබාගැනීම දුෂ්කර කටයුත්තක් බව පැවසූ බව පොලීසිය සඳහන් කරයි.වයෝවෘද්ධ මවගේ බාල පුතා රියදුරු රැකියාවක නිරතව සිටින අතර ඔහුට ඉන්නට හිටින්නට තමාගේම කියා තැනක් නොමැති නිසා මව රැක බලා ගැනීමට නොහැකි බව පොලිසියේ දී පවසා ඇතැයි දැන ගැනීමට ඇත.

මව රැක බලා ගත් එක් සහෝදරියක ගේ නිවෙසට තමාගේ වියදමින් මවට පහසු ආකාරයට වැසිකිළි යාමට අවශ්‍ය ලෙස කොමඩ් එකක්ද සකස් කර දුන් බව බාල පුතා පොලිසියේ දී ප්‍රකාශ කර තිබේ. මව බලා ගැනීම වෙනුවෙන් තමාට හැකි ආකාරයෙන් එම සහෝදරියට මුදලක් ලබාදුන් බවද බාල පුතා පවසන්නේ යැයි පොලීසිය කියයි.මාවතගම ප්‍රාදේශීය ලේකම් එම්.ඒ. ජානක මහතා හමුවටද මෙම වයෝවෘද්ධ මව සහ ඇයගේ දරු තිදෙනා පෙරේදා (23) මාවතගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් ඉදිරිපත් කරනු ලැබූහ.

ප්‍රාදේශීය ලේකම් ජානක මහතා හමුවේ ද මෙම දරු තිදෙනා තමන්ට මව රැක බලා ගැනීමට නොහැකි බව පැවැසූ අතර වයෝවෘද්ධ මව මෙහිදී ද කියා සිටියේ තමන්ට වැඩිහිටි නිවෙසක දරුවන් නොමැතිව ගත කිරීමට නොහැකි බවය.

මෙම වයෝවෘද්ධ කාන්තාවගේ හයවැනි පුත්‍රයා තමන්ට ඉන්න හිටින්න හරිහැටි තැනක් තිබුණා නම් මව බාර ගැනීමට කැමැති බව පවසා සිටීම නිසා ප්‍රාදේශීය ලේකම් ජානක මහතා ඔහුගේ නිවස අලුත් වැඩියා කර මේ වයෝවෘද්ධ මවට ජීවත්වීමට පහසු ආකාරයට සාදා දීමට පොරොන්දු වී ඇත.නිවස සාදා දෙන තෙක් මෙම වයෝවෘද්ධ මාතාව වැඩිහිටි නිවාසයකට පෙරේදා යොමු කරනු ලැබුවාය.තම මවට නිසි රැකවරණය ලබා නොදී නොසලකා හැරිය දරුවන්ට එරෙහිව පවතින නීති ප්‍රතිපාදන යටතේ ඉදිරියේ දී අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට මාවතගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කටයුතු යොදාගෙන යයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය