Billion-dollar-airport-whets-Cambodia-appetite-for-Chinese-investment

කාම්බෝජය තුළ ඉදිකළ වඩාත් නවීනතම සහ විශාලතම ගුවන් තොටුපොළ ලෙස Siem Reap-Angkor ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පසුගියදා සිය මෙහෙයුම් ඇරඹීය. විශේෂයෙන්ම, කාම්බෝජයේ වයඹදිග පළාතේ පිහිටි යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සැලකෙන අන්කෝර් පුරාවිද්‍යාත්මක නටඹුන් පරිශ්‍රය වෙත පැමිණෙන සංචාරකයන් ඉලක්ක කරගනිමින් මෙම ගුවන් තොටුපොළ ඉදිකර තිබේ.



කෙසේ වෙතත්, මෙම පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත්ප්‍රදේශය වෙත කිසිදු බලපෑමක් සිදු නොවන ආකාරයෙන් එහි සිට කිලෝමීටර් 40ක් ඈතින් මෙම ගුවන් තොටුපොළ ස්ථාපිත කර තිබෙන බව බලධාරීන් පවසා සිටියි. මීට පෙර 1932 වසරේදී ඉදිකෙරුණු Siem Reap ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මෙම අන්කෝර් පරිශ්‍රය සමීපයේම ඉදිකර වූවකි. ඒ හේතුවෙන් පුරාවිද්‍යා භූමිය වෙත බලපෑම් එල්ල විය.

මෙහිදී නව ගුවන් තොටුපොළෙහි ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන කේතය ලෙස SAI යන්න ලබාදී තිබේ. ඒ වෙත සිදුකරන මංගල ගුවන් ගමන ලෙස තායිලන්ත ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පසුගියදා තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණියේය.

මෙම නවතම ගුවන්තොටුපොළ ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයා ඇත්තේ චීනයයි. ඒ එරට මූලිකත්වයෙන් ක්‍රියාත්මක තීරයක් සහ මාවතක් වැඩසටහනේ අවස්ථාවක් ලෙසිනි. ව්‍යාපෘතිය සදහා වැය වී ඇති සමස්ත මුදල එක්සත් ජනපද ඩොලර් බිලියන 1.1කි. ගුවන් තොටුපොළ හරහා වසරකට මගීන් ලක්ෂ 70ක් හැසිරවීමට හැකිවන ලෙස එය නිර්මාණය කර තිබේ. ගුවන් තොටුපොළ ධාවන පථයේ දිග මීටර් 3,600කි.



මෙම ගුවන් තොටුපොළ ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වා ඇති කාම්බෝජයේ පිහිටි චීන තානාපති කාර්යාලයේ ආර්ථික සහ වාණිජකාර්යාලය, මෙය 'ඉදිකර- මෙහෙයුම් පවත්වාගෙන ගොස්-භාරදීම’ යන සංකල්පය යටතේ චීනය ඉදිකළ පළමු වැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වන බවද පවසා තිබේ.

ඒ අනුව, මෙම ගුවන් තොටුපොළෙහි සැලසුම් කටයුතු සහ ඉදිකිරීම් චීන සමාගමක් මගින් සිදුකර ඇති අතර, එහි කළමනාකාරිත්වය Yunnan Aviation Industry Investment Group මගින් සිදු කරයි. මෙම ගුවන් තොටුපොළ 4E ගුවන්තොටුපොළක් ලෙස නම් කෙරි ඇති අතර, ඊට විශාල ප්‍රමාණයේ වාණිජ ගුවන්යානා ගොඩබැස්සවිය හැකිය. 2020 වසරේදී ඉදිකිරීම් ආරම්භ කෙරුණු මෙම ගුවන් තොටුපොළ කාම්බෝජ ගෘහනිර්මාණ ශිල්පී ලක්ෂණ ආරක්ෂා කරගනිමින් නිර්මාණය කර තිබීමත් විශේෂත්වයකි. තවමත් ගුවන් තොටුපොළ හරහා සිදුකරන කාලසටහන්ගත ගුවන් ගමන් සැලසුම් කරමින් තිබෙන අතර, ඉදිරියේදී ඒ පිළිබද සම්පූර්ණ විස්තර ලබාදිය හැකි බව ගුවන් තොටුපොළ බලධාරීන් පවසයි.

කාම්බෝජ්ය ලොව සංචාරක ගමතාන්ත අතරින් අග්නිදිග ආසියාවේ පිහිටි ප්‍රධානතම ස්ථානයක් ලෙස සැලකෙයි. එරට සංචාරක අමාත්‍යාංශයට අනුව මේ වසරේ මුල් මාස අට තුළදී පමණක් එරට වෙත සංචාරකයන් ලක්ෂ 35ක් පැමිණ තිබේ. මෙය පසුගිය වසරේ මෙම කාලසීමාව හා සැසදීමේදී 250.8%ක ඉහළ යාමකි. එහෙත්, මෙය කොරෝනා වසංගතයට පෙර 2019 වසරේ මුල් මාස අට හා සැසඳීමේදී 19.7%ක අඩුවීමකි.

වසංගතයෙන් බලපෑමෙන් පසුව කාම්බෝජියාව 2022 මාර්තු මාසයේ සිට සංචාරකයන් සඳහා සිය රට විවෘත කළ අතර, මෙම වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 45ක් එරටට පැමිණෙනු ඇතැයි අමාත්‍යාංශයේ අපේක්ෂාව වී තිබේ.