ජනප්‍රිය "ෆ්‍රෙන්ඩ්ස්" කතා මාලාවේ උපහාසාත්මක ‘චැන්ඩ්ලර් බිං‘ ලෙස රඟපෑ මැතිව් පෙරී හදිසියේ මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


සෙනසුරාදා ඔහුගේ ලොස් ඇන්ජලීස් නිවසේ නාන තටාකයක (jacuzzi ) දියේ ගිලී මිය ගොස් ඇති බව ලොස් ඇන්ජලීස් ටයිම්ස් සහ ප්‍රසිද්ධ වෙබ් අඩවියක් වන TMZ වාර්තා කර තිබේ.
පැය 2 ක් පමණ උදෑසන ව්‍යායාම සඳහා පිටතට ගිය මැතිව් නිවසට පැමිණියේ උදේ පාන්දර වන බවත් ඉන් ටික වේලාවකට පසු ඔහු තම සහායකයා රාජකාරියකට පිටත් කර හැරිය බවත් වාර්තාවේ. පැය දෙකකට පමණ පසු සහායකයා ආපසු පැමිණි විට, නාන තටාකයේ ඔහු ගිලී සිටි බවත් ප්‍රතිචාර නොදක්වන බව සොයාගෙන 911 ට කතා කළ බවත් වාර්තාකර තිබේ. ඔහු දියනාමින් සිටියදී හෘදයාබාධයක් වැළඳී ඇතැයි පොලිසිය උපකල්පණය කරයි. ආසන්න ස්ථානයක මත්ද්‍රව්‍ය හෝ සැකකටයුතු ද්‍රව්‍ය කිසිවක් හමුවී නැතැයිද පොලිසිය උපුටමින් TMZ වාර්තා කර තිබේ.



පෙරී උපත ලැබුවේ 1969 අගෝස්තු 19 වන දින මැසචුසෙට්ස් හි විලියම්ස්ටවුන් හි ය.

මිය යනවිට ඔහු 54 හැවිරිදි වියේ පසුවිය.
නිවේදනයක් නිකුත් කරමින් Warner Bros Television Group කියා සිටියේ පෙරීගේ අභාවයෙන් තමන් "අතිශය කම්පාවට පත්වූ" බවයි.
ඔහුගේ පදිංචි නිවසේ මරණ පරීක්ෂණය සිදුවෙමින් පවතින බව පොලිසිය වාර්තා කර ඇත.
මැතිව් පෙරී රඟපෑ  "ෆ්‍රෙන්ඩ්ස්" 1994 සිට 2004 දක්වා දිව ගිය අතිශය ජනප්‍රිය කථාමාලාවක් වූ අතර, 2002 දී එය හොඳම විකට කතා මාලාවට හිමි එමී සම්මානය දිනා ගත්තේය. රංගන ශිල්පීන් පසු කාලවලදී එක් එක් කථාංගයකට ඩොලර් මිලියනයක වැටුපක් ලබා ගන්නා මට්ටමට ජනප්‍රිය විය.

පෙරී කැපී පෙනෙන චිත්‍රපට චරිත කිහිපයක් ද රගපෑ අතර, රොම්-කොම් "ෆූල්ස් රෂ් ඉන්" හි සල්මා හයේක් සමඟ ද, "ද හොල් නයින් යාර්ඩ්ස්" හි අපරාධ ප්‍රහසනයේ බෲස් විලිස් සමගද රඟපෑවේය.