Human-Rights-Watch-accuses-Israel-of-using-controversial-white-phosphorus-weapons

ගාසා තීරයේ යුද්ධයේදී සුදු පොස්පරස් භාවිතා කරන බවට හියුමන් රයිට්ස් වොච් ඊශ්‍රායලයට චෝදනා කර තිබේ.


ගාසා තීරයේ වයර් ඒජන්සි විසින් ගන්නා ලද පින්තූර මගින් අහසේ සුදු ඉරි සහිත පිපිරීම් පෙන්වා ඇති අතර ඒ සඳහා සාක්ෂි ඇති බවට හියුමන් රයිට්ස් වොච් (HRW) විසින් ඊශ්‍රායලයට චෝදනා ගොනු කර තිබේ.


ගාසා තීරයට සහ ලෙබනනයට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර සඳහා ආන්දෝලනාත්මක ආයුධයක් වන සුදු පොස්පරස් භාවිතා කර ඇති බවත් අධික ලෙස දහනය කළ හැකි මෙම රසායනිකය නිසා අහිතකර බලපෑම් මතුවන බව දක්වා තිබේ.

සමහර විට හමුදා විසින් ප්‍රදේශ සලකුණු කිරීමට මෙම රසායනිකය භාවිතා කරයි. නමුත් එය මිනිසුන් දරුණු ලෙස පුළුස්සා දැමිය හැකි බැවින් ආයුධයක් ලෙස භාවිතා කරන විට එය ඉතා භයානක ය, විශේෂයෙන් ජනාකීර්ණ ප්‍රදේශවලට දියත් කිරීම අනතුරු ඇති කරවිය හැකිය.


කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදාව රොයිටර් පුවත් ඒජන්සියට ප්‍රකාශ කළේ "දැනට ගාසා තීරයේ සුදු පොස්පරස් අඩංගු අවි භාවිතා කිරීම පිළිබඳව තමන් නොදන්නා" බවයි. ඔවුන් ලෙබනනය ගැන අදහස් දක්වා නැත.

HRW කියා සිටියේ සුදු පොස්පරස් කාලතුවක්කු උණ්ඩ පිපිරෙන ආකාරය දැක්වෙන ගාසා තීරයේ සහ ලෙබනනයේ රූගත කරන ලද වීඩියෝ දර්ශන ලබාගෙන විශ්ලේෂණය කර ඇති බවයි. එය ගාසාවේ අහසේ සුදු ඉරි පෙන්වන  බව AFP ප්‍රවෘත්ති ඒජන්සිය විසින් ගන්නා ලද පින්තූර තුළින්ද ඉස්මතු කර ඇත.

සුදු පොස්පරස් ඔක්සිජන් සමඟ ස්පර්ශ වන විට දැල්වී ඝන සුදු දුමාරයක් නිපදවයි. කෙසේ වෙතත්
සුදු පොස්පරස් ජාත්‍යන්තර නීතිය යටතේ තහනම් කර නැත, මන්ද එයට නීත්‍යානුකූල භාවිතයන් තිබෙන නිසාවෙනි, නමුත් එය මිනිසුන්ට ඇති කළ හැකි හානිකර බලපෑම් නිසා ඒවායේ භාවිතය දැඩි ලෙස නියාමනය කර ඇත.

ඊශ්‍රායලයේ සන්නද්ධ හමුදා ගාසා තීරයේ 2008-2009 ප්‍රහාරයේදී සුදු පොස්පරස් දුම් තිරයක් ලෙස භාවිතා කර ඇති බවට එකල මානව හිමිකම් සංවිධාන කිහිපයක් පෙන්වාදු න් අතර ඔවුන් එය එකල ‘යුද අපරාධ‘ ලෙස නම් කරමින් චෝදනා කර තිබුණි.