ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සංවිධානය විසින් පසුගිය 07 වැනිදා ඊශ්‍රායලය වෙත එල්ල කළ ප්‍රහාරයත් සමග අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික සේවිකාව ජීවිතක්ෂයට පත්ව ඇතැයි තහවුරු වී තිබේ. ඒ අනුව ඇගේ සිරුර හමු වූ බවට ඊශ්‍රායල් පොලිස් දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර අංශය (ඉන්ටර්පොල් සේවාව) මගින් මෙම තහවුරු කිරීම සිදු කෙරුණු බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ඊයේ (17දා) සඳහන් කළේය.
මෙම කාන්තාව කැලණිය ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අනුලා රත්නායක(ජයතිලක) නම් තැනැත්තියක් බව හඳුනාගෙන තිබේ. ඇය වසර 10ක කාලයක් ඊශ්‍රායලයේ සාත්තු සේවිකාවක ලෙස සේවය කරමින් සිටින බව තානාපති කාර්යාලය පවසයි. ඒ අනුව ඇයට හිමි වන්දි මුදල් ලබාදීමටද ඊශ්‍රායල බලධාරීන් කටයුතු කරනු ඇතැයි තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ තානාපතිවරයා, “වසර 10ක කාලයක් ඉතාමත් හොඳින් සේවය කරමින් සිටි අනුලා මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් අපි කනගාටුවට පත් වෙනවා. ඇගේ දේහය දින දෙකක් තුළ ටෙල්අචිව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලැබේවි. ඉන් අනතුරුව අගමික වතාවත් සිදුකර එම දේහය ලංකාවේ සිටින ඇගේ පවුලේ සාමාජිකයන් වෙත යැවීමට කටයුතු කරනවා.” යනුවෙන්ද පවසා සිටියේය.
මේ අතර ගාසා තීරයේ රැඳී සිටි ශ්‍රී ලාංකික පවුල් තුනක 17දෙනෙක් මේ වනවිට දකුණු දිග ගාසා ප්‍රදේශය වෙත පැමිණ ඇති බවත්, ඔවුන් ඉදිරියේදී ඊජිප්තු දේශසීමාව හරහා ගලවා ගැනීමට කටයුතු කරන බවත් තානාපතිවරයා සඳහන් කළේය. එසේම ඊශ්‍රායලය තුළ තවමත් තොරතුරක් නොමැති ශ්‍රී ලාංකිකයෙකු වන සුජිත් යටවර මහතා සම්බන්ධ විමසීම් ද ජාත්‍යන්තර පොලීසිය හා ඊශ්‍රායල් බලධාරීන් සමග අඛණ්ඩව සිදු කරමින් පවතින බවත් ඔහු පැවසීය.
"අද වෙන කොට ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකිකයන් 8,000ක පමණ පිරිසක් සේවය කරමින් සිටිනවා. ඔවුන් කිසිවෙකුත් මේ යුදගැටුම් නිසා රටින් පිටවීමට මෙතෙක් තීරණය කර නැහැ. රටින් පිටවිය යුතු බවට ඉල්ලීම් සිදුකරලත් නෑ. ඔවුන් මේ රට තුළ ඉතාමත් හොඳින් ආරක්ෂිතව සේවය කරමින් සිටිනවා.
ඊශ්‍රායලයේ සිටින හාම්පුතුන් මෙන්ම ඊශ්‍රායල් බලධාරීන් මෙහි සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ සේවය ගැන ඉතා ප්රසංශනීයව ඇගයීම් ද සිදුකරනවා” යනුවෙන්ද තානාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
මේ අතර, හමාස් සංවිධානයේ ප්‍රහාර හේතුවෙන් අද වනවිට ඊශ්‍රායල ජනතාව සඳහා හෙද සහ සාත්තු සේවය සම්බන්ධයෙන් විශාල හිඟතාවක් පවතින බවත්, එම අවස්ථාව යොදා ගනිමින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වැඩි පිරිසකට ඊශ්‍රායලයේ රැකියා ලබා ගැනීමට ද අවස්ථාව උදාවී ඇති බවත් තානාපතිවරයා සඳහන් කළේය. එමෙන්ම ශ්‍රී ලංකාවේ සිටින විශාල පිරිසක් ඊශ්‍රාලයට පැමිණීමට අවස්ථාව උදාකර දෙන ලෙසට සිය තානාපතිකාර්යාලයෙන් දිගින් දිගටම විමසීම් කරන බවද තානාපති නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, සිය ශ්‍රමික බලපත්‍රය අලුත් කරගත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් නැවතත් ඊශ්‍රායලය වෙත පැමිණීමට බලාපොරොත්තුව සිටින බවත් සඳහන් වෙයි. කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශය ගනු ලැබූ තීරණයකට අනුව නැවත දැනුම් දෙනතුරු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඊශ්‍රායලය වෙත යැවීම අත්හිටුවා තිබේ.
මෙම මොහොතේදී පවතින තත්ත්වය සහ අවස්ථාවන් සලකා බලා එම තීරණය ලිහිල් කිරීමක් පිළිබදව රජයේ අවධානය යොමු විය යුතු බවත් තානාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
0 Comments