The-government-of-the-Mala-island-is-overthrown-pro-Chinese-Muisu-to-the-presidential-chair

මාලදිවයිනේ පැවති ජනපතිවරණයෙන් පැවති ආණ්ඩුවේ නායක ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි පරාජයට පත්ව ඇති අතර 45 හැවිරිදි මොහොමඩ් මුයිසු සියයට 54.06 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා මාලදිවයිනේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කර තිබේ.
මෙම ජනපතිවරණය මීට මාසයකට පෙර පවත්වන්නට යෙදුණ අවස්ථාවේ අපේක්ෂකයින් කිසිවෙකුට සියයට 50 ලබාගන්නට බැරිව යාම නිසා අවලංගු විය. එය දෙවන වරටත් පවත්වන්නට සිදුවූ එකකි.
 මාලදිවයිනේ මැතිවරණ කොමිසම නව ජනපති ප්‍රකාශයට පත් කළ පසුව වත්මන් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි පරාජය පිළිගත්තේය.
දේශපාලන නිරීක්ෂකයින් පවසන්නේ මෙය ඉන්දියාව හා චීනය අතර කඹ ඇදිල්ලකින් චීනය ජයගත් අවස්ථාවක් බවයි.


වත්මන් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි ඉන්දියාව සමග සමීප සබඳතා තිබූ කෙනෙකු වන අතර චීනය ප්‍රතික්ෂේප කළ අයෙකි.‍ නව ජනපති මුයිසු, චීන ණය ගලා ඒම සාදරයෙන් පිළිගත් පක්ෂයකට නායකත්වය දෙමින් සිටියේය.
මෙම මැතිවරණ ජය චීනයට සතුටක් බවත් ඉන්දියානු සාගර දූපත් සමූහයේ නව ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් පරාසයකට ගෙනයාමක් ලෙසත් විචාරක අදහස් පළ කර තිබේ.

පත්වූ ජනපති මුයිසු දැනට මාලේ අගනුවර නගරාධිපති ලෙස කටයුතු කරමින් සිටින්නේය.
එක් වරක් නිවාස ඇමතිවරයෙකු වූ මුයිසු, චීනයේ ආධාර සමග අත්වැල් බැඳගනිමින් පෙර ආණ්ඩුවේ සංවර්ධන වැඩසටහනක ප්‍රධාන භූමිකාවක් ඉටු කළේය.
පසුගිය වසරේ චීන කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන් සමග පැවති රැස්වීමකදී ඔහු කියා සිටියේ තම පක්ෂය නැවත බලයට පත්වීම “අපේ රටවල් දෙක අතර ශක්තිමත් බැඳීම්වල තවත් පරිච්ඡේදයක් ලියනු ඇති” බවයි.

මාල දිවයිනේ සුදුසුකම් ලත් ඡන්දදායකයින් 282,000 කට වැඩි පිරිසක් සිටින අතර ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 85 ක් විය.  

61 හැවිරිදි සෝලි නොවැම්බර් 17 වනදා ඔහුගේ අනුප්‍රාප්තිකයා දිවුරුම් දෙන තුරු භාරකාර ජනාධිපති ලෙස කටයුතු කරනු ඇත.