ahungalla-shooting-three-family

අහුන්ගල්ල, ගල්වෙහෙර නව ආදර්ශ විද්‍යාලය අසලදී පසුගිය 21 දින රාත්‍රී යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටි එකම පවුලේ තිදෙනෙකුට (03) වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධිය අහුන්ගල්ල හා කොස්ගොඩ කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක බලය වෙනුවෙන් දිගුකාලීනව සිදුවන මරාගැනිල්ලේ ප්‍රතිළුලයක් බවට පොලිස් විමර්ශණ වලදී තහවුරු වී ඇතැයි මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියෙක් ඊයේ (23) දහවල් ප්‍රකාශ කළේය.


මෙම වෙඩි තැබීමට අදාල විමර්ශණ කටයුතු අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති, පොලිස් විශේෂ කාර්යය බලකාය, ඇල්පිටිය කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය හා ගාල්ල අපරාධ කොට්ඨාශය යටතේ වෙන වෙනම පොලිස් කණ්ඩායම් 04 ක් යටතේ ක්‍රියාත්මක වන බවද එම නිලධාරියා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
දැනට ඩුබායියි රැදී සිටින කොස්ගොඩ සුජී සහ අහුන්ගල්ලේ මධුෂාන් හා ලොකු පැටී හෙවත් සංජීව යන කණ්ඩායම් වල ගැටුමක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු වී තිබෙන බවද මෙතෙක් කරන ලද පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ. පසුගිය කාලයේ ගාල්ල දිස්ත්‍රික්කයේ සිදු වූ ඝාතන හා වෙඩි තැබීම් සියල්ලම පාහේ රත්ගම විදුරගේ හා කොස්ගොඩ සුජීගේ කණ්ඩායම් දෙක අතර පවතින බල අරගලය හේතුවෙන් සිදු වී තිබෙන බවත් අහුන්ගල්ලේ මධුෂාන් හා ලොකු පැටී, රත්ගම විදුරගේ කණ්ඩායම නියෝජනය කරමින් කොස්ගොඩ සුජීට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන් මෙම කණ්ඩායම් වලට අයත් ඥාතීන්ද ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම් සිදුවන බවත් පොලීසිය කියයි. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට වෙඩි තැබීම, සීනිගම දේවාලය අසලදී හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට වෙඩි තැබීම, කොස්ගොඩ හෑගල්ලේදී කොස්ගොඩ රන් මහත්තයා නැමැති පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම, පසුගිය 11 දින උදෑසන අහුන්ගල්ල නගරයේ සංචාරක හෝටලයක් ඉදිරිපිටදී මෝටර් ත්‍රිරෝද රථයක යමින් සිටි පුද්ගලයකුට වෙඩි තැබීම ආදියද මෙම කණ්ඩායම් දෙකේ ක්‍රියාකාරකම් බවද පොලීසිය කියයි.


පසුගිය 21 දින රාත්‍රී වෙඩි තැබීමෙන් අහුන්ගල්ල, ගල්වෙහෙර පදිංචි කිරාහන්දි දිනේෂ් මුතුමාල ද සිල්වා (31), ඔහුගේ බිරිද මෙස්ත්‍රමේන්ත්‍රිගේ මහේෂා කෞෂානි (28) සහ ඔවුන්ගේ මාස 04 ක් වයසැති කිරාහන්දි නෙෂාන් ආදීව් ද සිල්වා නැමැති තිදෙනා බරපතල තුවාල ලැබීය. තුවාල ලැබූ දිනේෂ් මුතුමාල නැමැති අය ඩුබාහි රැදී සිටින එක් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුගේ බිරියගේ සොහොයුරා බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. තුවාල ලැබූ මෙස්ත්‍රමේන්ත්‍රිගේ මහේෂා කෞෂානි (28) ට අදාල සංවිධානාත්මක අපරාධ කල්ලි සම්බන්ධයක් පිළිබදවද පොලීසිය කරුණු අනාවරණය කරගෙන තිබේ.
පසුගිය 2023 අප්‍රේල් 14 දින අහුන්ගල්ල, මිද්දරමුල්ලේදී ටී - 56 ගිනි අවියකින් වෙඩි තබා අහුන්ගල්ල, අමරමෝලි මාවතේ පදිංචි තරුණයෙකු ඝාතනය කර තිබුණි. මෙසේ ඝාතනය කර තිබුණේ තරිදු ධනුෂ්ක නිසංසල ද සිල්වා (29) නැමැති අයයි. මෙම තරුණයා විවාහ කර ගැනීමට නියමිතව තිබුණේ අහුන්ගල්ලේ පදිංචි මධූෂා නැමැති කාන්තාවකගේ දියණියක බවත් මධූෂා නැමැති කාන්තාව කොස්ගොඩ සුජීගේ හිතවතියක බවත් මෙම ඝාතනයට අදාල පොලිස් පරීක්ෂණ වලදී තහවුරු කරගෙන තිබුණි. මෙම ඝාතනය සිදුකර තිබුණේ අහුන්ගල්ලේ බබා නැමැති වෙඩික්කරුවෙකු විසින් බවද බබා නැමැති අය රත්ගම විදුරගේ හා ලොකු පැටීගේ සමීපතමයෙකු බවද ඊට අදාල පොලිස් පරීක්ෂණ වලදී වැඩි දුරටත් තහවුරු වී තිබුණි. පසුගිය 21 දින වෙඩි වැදී තුවාල ලැබූ මෙස්ත්‍රමේන්ත්‍රිගේ මහේෂා කෞෂානි (28) නැමැති කාන්තාව, අප්‍රේල් 14 ඝාතනයේ වෙඩික්කරු අහුන්ගල්ලේ බබා නැමැති අයගේ සහෝදරියක් බවට තහවුරු වූ බවද අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

ඒ අනුව මෙම වෙඩි තැබීම කොස්ගොඩ සුජීගේ පාර්ශවයෙන් කරන්නට ඇතැයි සැක කරන බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.
පසුගිය ඔක්තෝම්බර් 11 දින අහුන්ගල්ලේ සංචාරක හෝටලයක් ඉදිරිපිටදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට වෙඩි තැබීමක් සිදුවිය. මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූයේ කොස්ගොඩ සුජීගේ සමීප ඥාතියෙක් වන 31 හැවිරිදි පුද්ගලයෙකි. මීට අදාල පොලිස් පරික්ෂණ වලදී මෙම ප්‍රහාරය ලොකු පැටී නමැති අය විසින් මෙහෙයවා තිබෙන බවට අහුන්ගල්ල පොලීසිය විසින් තහවුරු කරගෙන තිබුණි. පසුගිය 21 දින වෙඩි තැබීම මෙම වෙඩි තැබීමට එකට එක කිරීමක් බවද පොලීසිය විශ්වාස කරයි.
21 දින වෙඩි තැබීම සම්බන්ධයෙන්ද තොරතුරු රැසක් මේ වන විට අනාවරණය කරගෙන තිබෙන බවද අහුන්ගල්ල පොලීසිය කියයි. සැකකරුවන්ට අදාල තොරතුරුද ඒ අතර වන බවත් මේ මොහොතේ සියළු කරුණු අනාවරණය කල නොහැකි බවත් ඇල්පිටිය කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය සදහන් කරයි. අහුන්ගල්ල නගරයේ ලී බඩු වෙළෙද ව්‍යාපාරයක් සිය පියා සමග පවත්වාගෙන යන වෙඩි වැදීමට ලක් වූ පුද්ගලයා සිය වෙළෙද සැල වසා දමා සිය බිරිය හා දරුවා සමග අහුන්ගල්ල, ගල්වෙහෙර නිවසට යමින් සිටියදී ඉතුක් 21 දින රාත්‍රී 7.30 ට පමණ මෙම වෙඩි ප්‍රහාරයට ලක් විය. තුවාලකරුවන් තිදෙනා එම අවස්ථාවේදීම බළපිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබෙන අතර එයින් අසාධ්‍ය තත්ත්වයේ සිටි පිරිමි පුද්ගලයා සහ දරුවා වැඩිදුර ප්‍රතිකාර සදහා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ.
මෙම වෙඩි තැබීම ටී - 56 ගිනි අවියකින් සිදුකර තිබෙන බවද ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශණ ඒකකය කියයි. වෙඩි තැබීම සිදුකරන ලද ස්ථානයේ තිබී ටී - 56 හිස් පතුරම් කොපු 21 ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. වෙඩි තැබීමට අදාලව හෙරොයින් ජාවාරම හා සම්බන්ධ කරුණක් බල පා තිබෙද? යන්න සම්බන්ධයෙන්ද පොලීසියේ අවධානය යොමු වී තිබෙන බව අහුන්ගල්ල පොලීසිය කියයි.
අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරි යූ එම් අමරවංශ, ඇල්පිටිය කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බස්නායක, අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක හරිත් හල්විට යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ අහුන්ගල්ල පොලීසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක පෙරේරා, ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශණ ඒකකයේ උප පොලිස් පරීක්ෂක දේශප්‍රිය ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ජයකාන්ත ලියනගේ  -  බළපිටිය