ahungalla-shooting-three-family

අහුන්ගල්ල, ගල්වෙහෙර නව ආදර්ශ විද්‍යාලය අසලදී ඊයේ (21) රාත්‍රී 7.30 ට පමණ යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටි එකම පවුලේ තිදෙනෙකුට (03) වෙඩි තබා බරපතල තුවාල සිදුකර තිබෙන බව අහුන්ගල්ල පොලීසිය කියයි.


තුවාලකරුවන් තිදෙනා එම අවස්ථාවේදීම බළපිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබෙන අතර එයින් අසාධ්‍ය තත්ත්වයේ සිටි පිරිමි පුද්ගලයා සහ දරුවා වැඩිදුර ප්‍රතිකාර සදහා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ. ඔවුන්ගේ තත්ත්වය තරමක් බරපතල බව ගාල්ල, කරාපිටිය රෝහලට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කාන්තාව බළපිටිය මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද මූලික රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.


මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ අහුන්ගල්ල, ගල්වෙහෙර පදිංචි කිරාහන්දි දිනේෂ් මුතුමාල ද සිල්වා (31), ඔහුගේ බිරිද මෙස්ත්‍රමේන්ත්‍රිගේ මහේෂා කෞෂානි (28) සහ ඔවුන්ගේ මාස 04 ක් වයසැති කිරාහන්දි නෙෂාන් ආදීව් ද සිල්වා නැමැති තිදෙනාය. තුවාල ලැබූ දිනේෂ් මුතුමාල නැමැති අය අහුන්ගල්ල නගරයේ ලී බඩු වෙළෙද ව්‍යාපාරයක් සිය පියා සමග පවත්වාගෙන යන බවද අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
තුවාල ලැබූ එකම පවුලේ මෙම තිදෙනා යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් වෙඩි තැබීම සිදුකර තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ. වෙඩි තැබීමෙන් පසු ත්‍රීරෝද රථය ඌරගස්මන්හන්දිය දෙසට ගමන කර තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවද අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

කුඩා දරුවගේ කකුල් දෙකට, මවගේ බඩ ප්‍රදේශයට හා පියාගේ මුහුනට වෙඩි වැදී තිබෙන බව අහුන්ගල්ල පොලීසිය මෙතෙක් කරන ලද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. තුවාල කරුවන් ගමන් ගත් යතුරු පැදිය අහුන්ගල්ල පොලීසියේ බාරයට ගෙන තිබේ.
මෙම වෙඩි තැබීම ටී - 56 ගිනි අවියකින් සිදුකර තිබෙන බවද ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශණ ඒකකය කියයි. වෙඩි තැබීම සිදුකරන ලද ස්ථානයේ තිබී ටී - 56 හිස් පතුරම් කොපු 14 ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. මෙම වෙඩි තැබීම හෙරොයින් ජාවාරමට සම්බන්ධ ආරවුලක් හේතුවෙන් සිදු වන්නට ඇතැයි පොලීසිය සැක කරයි. වෙඩි වැදුන පිරිමි පුද්ගලයා අත මෑතකදී විශාල වශයෙන් මුදල් ගැවසී තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. හෙරොයින් ජාවාරමට අදාල ප්‍රමුඛ පෙළේ පුද්ගලයින් ජාවාරමෙන් සැලකිය යුතු මුදලක් උපයා ගත්තායින් පසුව සාමාන්‍ය මට්ටමේ ජාවාරම් කරුවන්ට ජාවාරම අත හරින්නට කිසිසේත් ඉඩ නොදෙන බවත් එවන් ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතු වූවාද යන්න සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ සිදුකරන බවත් අහුන්ගල්ල පොලීසියට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.
අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක හරිත් හල්විට මහතාගේ මෙහෙයවීම මත අහුන්ගල්ල පොලීසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක පෙරේරා, ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශණ ඒකකයේ උප පොලිස් පරීක්ෂක දේශප්‍රිය ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ජයකාන්ත ලියනගේ  -  බළපිටිය