ahungalle-incident

අහුන්ගල්ල පතිරාජගම දී දෙපිරිසක් අතර ඊයේ (11) දහවල් ඇතිවූ ගැටුමක් අතරතුර ඇසිඞ් ප්‍රහාරයක් හා තියුණු ආයුධයකින් පහරදීමකින් අටදෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.ගැටුමෙන් දෙපිරිසේම සිවු දෙනා බැගින් තුවාල ලබා ඇති බවත් ඉන් සිවුදෙනකුම

කාන්තාවන් බවත් පොලීසිය සඳහන් කරයි.එක් පාර්ශවයකින් එල්ල කළ කඩු ප්‍රහාරයකින් අනෙක් පාර්ශ්වයේ අයකුට බරපතළ තුවාල සිදුව ඇති බවත් එක් පාර්ශ්වයක් එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයකින් හා පහරදීම්වලින් හත් දෙනකුට තුවාල සිදුවී ඇති බවත් පොලිසිය පවසයි.

කඩු ප්‍රහාරයට ලක්වූ තැනැත්තාගේ එක් අතකට බරපතළ තුවාල සිදුවී ඇති බවත් බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය මහ රෝහලට මාරුකර යැවීමට නියමිතව සිටි බවත් පොලිසිය පවසයි.මේ ගැටුම ඇතිවී ඇත්තේ එක ළඟ නිවාස දෙකක පවුල් දෙකක් අතර බව ද පොලිසිය කියයි.

ප්‍රේම සම්බන්ධතාවක් සම්බන්ධයෙන් ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් ගැටුම ඇතිවී තිබෙන බව මූලික විමර්ශන වල දී අනාවරණය වූ බවද පොලිසිය පවසයි. ගැටුමට සම්බන්ධ දෙපිරිසේම අය අය තුවාල ලබා රෝහල්ගත කළ බැවින් සිද්ධියට අදාළ අය අත්අඩංගුවට ගැනීමට නොහැකිවී ඇති බව ද පොලිසිය සඳහන් කරයි.
එම්. සුසිල් ප්‍රියන්ත