anula-killed-israel

පලස්තීනය සහ ඊශ්‍රායලය අතර යුද්ධයේදී අතුරුදන්ව සිටි ඊශ්‍රායලයේ විසූ අනුලා රත්නායක නම් කාන්තාව වෙඩි තබා ඝාතනය කර ඇති බවට ඇසින් දුටු සාක්ෂියක් ඇයගේ ඥාතීන් විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා ප්‍රදර්ශනය කර තිබූ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.



ශ්‍රී ලාංකික කාන්තාව මරණයට පත්ව ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ඔහු පැවසීය. කෙසේ වෙතත් තොරතුරු  තහවුරු කරගනිමින් පවතින බව ද තානාපතිවරයා සදහන් කරයි.

හමාස් සංවිධානයේ සාමාජිකයන් ඇයට තැබූ වෙඩි ප්‍රහාරයකින් සේවා ස්ථානයේදී මරණයට පත්ව ඇති බව ඇය සේවය කළ ස්ථානයෙන් ලද තොරතුරු මත පවුලේ සමාජිකයෙක් සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර ඇත.

ඊශ්‍රායලයේ මෙරට තානාපති නිමල් බණ්ඩාර මහතා විසින් අදාළ සමාජ මාධ්‍ය සටහන පළ කළ කාන්තාවට ද, නවසීලන්තයේ ජීවත්වන අනුලා රත්නායක මහත්මියගේ පුත්‍රයාට ද ,

කුවේට් හි ජිවත්වන අයගේ බාල සහෝදරියට ද දුරකථනයෙන් කතා කර විස්තර ලබාගත් බවද ඔහු ප්‍රකාශ කළේය.

එසේම ඇය මියගොස් ඇත්නම් අදාළ ප්‍රදේශයේ රෝහල්වල රඳවා ඇති මළසිරුර පරීක්ෂා කොට අයගේ මළසිරුර හඳුනා ගැනීමට සහය වන මෙන් ඊශ්‍රායල් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් ද කළ බව හෙතෙම කීවේය.

දැනට ඊශ්‍රායල් දකුණු දිග කලාපයේ හමුදා මෙහෙයුම් පවතින බැවින් ඒවා අවසන් වූ වහාම අදාළ මළසිරුරු හදුනාගැනීමට අපට අවසර ලැබෙනු ඇති බව ද ඔහු පවසයි.

කුමන හේතුවකින් කෙනෙකු මියගිය බව ආරංචියක් ලැබුණද එය සනාථ කර ගතහැකිවන්නේ ඔහුගේ හෝ අයගේ මළසිරුර නිශ්චිත ලෙස හදුනාගෙන නිශ්චය කරගැනීමෙන් අනතුරුව බවත්, එතෙක් අදාල පුද්ගලයා හඳුන්වන්නේ අතුරුදන් වූ කෙනෙකු ලෙසින් බවත් ඒ මහතා සඳහන් කළේය. ඒ සඳහා දින කිහිපයක් ගත වන බවත් ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



"ඊයේ දිනය වනවිට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අතුරුදන් ව ඇති බවට අපට තොරතුරු වාර්තාවුණා. අපි ඒ පිළිබඳව තොරතුරු ගවේෂණය කළා. එක් පුද්ගලයෙක් වෙන්නප්පුවේ පදිංචි යටවර බණ්ඩාර නම් 48 හැවිරිදි සාත්තු සේවකයෙක්. දෙවැනි පුද්ගලයා විදියට සඳහන් වුණේ අනුලා රත්නායක නම් කඩවත හුණුපිටිය පාරේ පදිංචිවෙලා හිටපු 49 හැවිරිදි කාන්තාවක්."
මේ අතර අතුරුදන්ව ඇති ශ්‍රී ලාංකිකයින් දෙදෙනා හැරුණුකොට ඊශ්‍රායලයේ වෙසෙන සෙසු සියලුම ශ්‍රී ලාංකිකයින් සුවසේ සිටින බවද තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.