apartment-sales-office-rent-go-down

මහල් නිවාස සංකීර්ණ හා මිශ්‍ර ව්‍යාපෘතිවල නිවාස හා ව්‍යාපාරික ස්ථාන අලෙවිය (සහාධිපත්‍ය වෙළෙඳාම) මේ වසරේ මුල් කාර්තුවේ දී පසුගිය වසරට සාපේක්ෂව සියයට 91කින් පහත වැටී ඇතැයි මහබැංකු වාර්තාවලින් අනාවරණය වේ. මෙය පසුගිය වසරේ අවසන් කාර්තුවට සාපේක්ෂව සියයට 40ක පහත වැටීමක් බව ද එම වාර්තාවෙන් පැහැදිලි වේ.

එම වාර්තාවලට අනුව මේ වසරේ පළමු කාර්තුවේ සිදුවූ සහාධිපත්‍ය වෙළෙඳාමෙන් සියයට 50ක්ම රුපියල් මිලියන 25ත් 50ත් අතර වටිනාකමින් යුත් නිවාස හා ව්‍යාපාරික ස්ථාන වන අතර රුපියල් මිලියන 75ට වැඩි විනාකමින් යුත් නිවාස හා දේපළ මිල දී ගැනීම් සිදුවී තිබෙන්නේ සියයට 7ක් පමණි. එය පසුගිය වසරේ අවසන් කාර්තුවේ දී සියයට 16ක් විය.

මහල් නිවාස හා ව්‍යාපාරික ස්ථාන මිල දී ගැනීම් පහත වැටීමට ප්‍රධාන ලෙසම බලපා ඇත්තේ ඒවායේ මිල ගණන් ඉහළ යාම බව ද කොළඹ දිස්ත්‍රික්කයේ මිල ගණන් පසුගිය වසරට සාපේක්ෂව සියයට 24කින් ද පසුගිය කාර්තුවට සාපේක්ෂව සියයට 10 කින් ද ඉහළ ගොස් තිබේ.

මිලදී ගන්නා දේපළවලින් සියයට පනහකට ආසන්න ප්‍රමාණයක් මෙරට ක්ෂණික පදිංචිය සඳහා වන අතර සියයට 28 ක් පමණ අනාගත පදිංචිය සඳහාය. මහබැංකු වාර්තාවට අනුව ආයෝජන ලෙස මෙම දේපළ මිල දී ගැනීම් පසුගිය වසරට සාපේක්ෂව සියයට අටකින් පමණ පහත වැටී ඇත.

මුදිතා දයානන්ද