avissawella-police-incident

අවිස්සාවේල්ල පොලිස් නිලධාරීන් භාරයේ සිටි සැකකරුවෙකු අත්විලංගු මගින් පොලිස් නිලධාරියෙකුගේ ගෙල සිර කිරීමට උත්සාහ කිරීමේදී ඇති වූ ගැටුමකදී මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සදහන් කරයි.

සැකකරු විසින් අත්විලංගු යොදා පොලිස් නිලධාරියෙකුගේ ගෙල සිර කිරීමට උත්සාහ කර තිබෙන බවත් එම පොලිස් නිලධාරියා බේරා ගැනීමට අනෙකුත් නිලධාරීන් විසින් කටයුතු කර තිබෙන බවත් පෙන්වා ඔවුන් පෙන්වාදී ඇත.

අදාළ සිද්ධියේදී සැකකරු හා නිලධාරියා තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබෙන බවත් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සැකකරු මියගොස් තිබෙන බවද

එම කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සීතාවකපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මෙම සැකකරුට හෙරොයින් සන්තකයේ තබා ගැනීම, ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීම හා තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අවිස්සාවේල්ල මහාධිකරණයේ නඩු පවතින බවද පෙන්වා දෙයි.



මෙම සැකකරු පසුගිය මස 20වන දින අවිස්සාවේල්ල තල්ලූව ප්‍රදේශයේදි ටී 56 ගිනිඅවියකින් වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම හා පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි අයෙකු බවද සඳහන් වේ.

අදාළ සැකකරු හෙරොයින් ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 170ක් සමග පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන හම්බන්තොට පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙන බවද පෙන්වා දෙයි.

මේ අනුව සැකකරු මෙම මස 12වන දින අවිස්සාවේල්ල පොලිස් ස්ථානයට රැගෙනවිත් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන තිබෙන බවද සදහන් කරයි.



සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත විමර්ශනය කිරීම සඳහා ඊයේ (15දා) අවිස්සාවේල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු පොලිස් ජිප් රථයක නංවාගෙන අවිස්සාවේල්ල මානියන්ගම ඇත්පන්තිය ප්‍රදේශයට පිටත්ව ගොස් තිබෙන බවද පෙන්වා දෙයි.

එම ජිප් රථය තුළදී සැකකරු විසින් ඔහුට දමා තිබූ අත්විලංගු මගින් පොලිස් නිලධාරියෙකුගේ ගෙල සිර කිරීමට උත්සාහ දරා තිබෙන බවත් එම අවස්ථාවේදී අදාළ නිලධාරියා ඉන් බේරීමට හා අනෙකුත් නිලධාරීන් මෙම නිලධාරියා බේරා ගැනීමට උත්සාහ කරන අවස්ථාවේදී ඇති වූ තත්ත්වයක් මත මෙම සැකකරු හා පොලිස් නිලධාරියා තුවාල ලබා තිබෙන බවද සඳහන් කරයි.

-ඉන්දික හේවාවිතාරණ