awara-sri-pada-money

අවාරය හැටන් සහ රත්නපුර මාර්ග ඔස්සේ ශ්‍රී පාදස්ථානය සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තුමේන්තුව පෙරේදා (04) දින සිට මුදල් අය කරමින් ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත්, ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අසාධාරණ ක්‍රියාවක් බව ශ්‍රී පාදස්ථානාධිපති, සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසීය.

මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (05දා) දින උන්වහන්සේ පවසා සිටියේ, රජ සමයේ සිට වාරයේ සහ අවාරයේ ශ්‍රී පාදස්ථානය වැද පුදා ගැනීමට පැමිණෙන කිසිදු වන්දනාකරුවෙකුගෙන් මුදල් අය කිරීමක් සිදුනොකළ බවත්, වර්තමානයේ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තුමේන්තුව විසින් ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට පැමිණෙන හෝ සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් අවාරයේ මුදල් අයකර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අසාධාරණ බවත්ය.



තමන්ගේ අවසර ලබාගෙන භූතානයෙන් පැමිණි සංචාරකයන් පිරිසක් ඊයේ (05දා) දින අලුයම ශ්‍රී පාදස්ථානය සංචාරයක් සඳහා ගිය බවත්, එම සංචාරකයන්ගේ නල්ලතන්නිය ශ්‍රී පාදස්ථාන ප්‍රධාන මාර්ගයේ මකර තොරණ අසල පිහිටි වනජීවී සංරක්‍ෂණ කාර්යාලයෙන් එක් සංචාරකයෙකුගෙන් ඩොලර් 5ක මුදලක් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කර ඇති බවත් උන්වහන්සේ ප්‍රකාශ කළේය.

ශ්‍රී පාද රත්නපුර සහ හැටන් මාර්ගයේ පියගැටපෙළ ඇතුළු වන්දනාකරුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට තමන් කටයුතු කළ බවත්, ඒ සඳහා වනජීවී සංරක්‍ෂණ දෙපාර්තුමේන්තුව කිසිදු අයුරකින් සහයෝගයක් ලබා නොදී අවාරයේ ශ්‍රී පාදස්ථානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ශ්‍රී පාදස්ථානය සංචාරය කිරීම ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත් ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ පැවසීය.



ශ්‍රී පාදස්ථානය අවාරයේ සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් අප නල්ලතන්නිය වනජීවී සංරක්‍ෂණ කාර්යාලයේ නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී හෙතෙම පවසා සිටියේ, අවාරයේ ශ්‍රී පාදස්ථානයේ සංචාරය සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සඳහා 2022 වසරේ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බවයි.

එම ගැසට් පත්‍රය අනුව පෙරේදා දින සවස සිට නල්ලතන්නිය මාර්ගයෙන් ශ්‍රී පාදස්ථාන සංචාරයේ යෙදෙන විදේශීය සංචාරකයෙකුට ඩොලර් 5ක මුදලක්, සාර්ක් රටවලින් පැමිණෙන විදේශීය සංචාරකයන්ට ඩොලර් 4ක මුදලක් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කරන ලෙස තමන්ට වනජීවී දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ගෙන් උපදෙස් ලැබුණු බවයි.

දේශීය සංචාරකයන්ට රුපියල් 40ක මුදලක් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත්, මෙම ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ශ්‍රී පාද අවාරයේ පමණක් සිදුකරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

අවාරයේ ශ්‍රී පාදස්ථානයේ සංචාරය සඳහා පැමිණෙන සංචාරකයන්ට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම නල්ලතන්නිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේද විරෝධය මතු වී ඇත.
- හැටන් - රංජිත් රාජපක්‍ෂ