baby-death

අත්වැරදීමකින් හිස බිත්තියේ වැදී මාස 6 ක බිලිදියක රෝගීව මියයාමේ සිද්ධිය ඝාතනයක් බවට හෙළිවීමෙන් අනතුරුව ඌරුබොක්ක පොලිසිය විසින් ඊයේ (3) අත්අඩංගුවට ගනු ලැබු බිලිඳියගේ 21 හැවිරිදි මව මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 10 වැනිදා රිමාන්ඩ් බාරයට පත් කර ඇත.

මෙම දැරියගේ මරණය සම්බන්ධයෙන් මාතර මහරෝහලේ දී කළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී එම මරණය බිත්තියේ වැදීමෙන් සිදු වුවක් නොව හිසට හා ශරීරයේ අභ්‍යන්තරයට කළ පහර දීම් වලින් ශරීර අභ්‍යන්තරයේ ඇති වූ තුවාල හේතුවෙන් සිදුවු මරණයක් බවත් එය ඝාතනයක් බවටත් හෙළි වීමෙන් පසු බිලිඳියගේ මව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මාස 6 යි දින 11 ක් වන දැරියගේ ඇඟ සෝදා නිවසට රැගෙන යාමේ දී අත් වැරදීමකින් බිත්තියේ හිස වැදුණ බවට පවසමින් දරුවාගේ පියා ඇය හීගොඩ රෝහලට ඇතුළත් කර ඇත.දැරිය ආසාධ්‍ය තත්ත්වයෙන් පසුවීම නිසා වලස්මුල්ල රෝහලට වෙත මාරුකර රැගෙන යන අතරමගදී දැරිය මියගොස් ඇත.  ආවේගශීලි තත්වයක් මත මෙය සිදු වු බවට දැරියගේ මව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇති අතර, මරණය සිදු කළ ආකාරය සම්බන්ධයෙන් ඇය කිසිවක්හෙළි නොකළ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.



මෙම කාන්තාව දැරියට කිසිදු ආදරයක් දක්වා නොමැති බවට සිදු කළ විමර්ශනයේ දී හෙළි වූ බවත්, ඇය කිසියම් මානසික ව්‍යාකූල තත්ත්වයකින් පෙළෙන බවට නිරීක්ෂණය වන හෙයින් ඇය මානසික වෛද්‍යවරයකු වෙත යොමු කරන බවදත් පොලිසිය පවසයි.ඌරුබොක්ක වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජිතනන්ද මහතාගේ මෙහෙය වීමෙන් පරික්ෂණ මේ පිළිබඳ පැවැත්වේ.

 ඉන්දිකා රාමනායක