bambalapitiya-apartment-gnasara

බම්බලපිටිය සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක නිවසක අයිතිය පිළිබඳව වන ආරවුලක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට ලබන 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා ඊයේ (02) නොතීසි නිකුත් කළේය.ජ්‍යෙෂ්ඨ නීතිඥ සන්ධ්‍යා තල්දූව මහත්මිය විසින් අධිකරණය හමුවේ ගොනු කරනු ලැබූ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග නිකුත් කළේ එම සිද්ධියට අදාළ වගඋත්තරකරුවන් වන බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට,

උන්වහන්සේගේ ගෝල හිමියන් වන දයාශීල හිමියන්ට සහ සිල්වෙස්ටර් පෙරේරා යන එම නිවාස සංකීර්ණයේ කමිටු සභාපතිවරයාටය.

මෙම සිද්ධියට අදාළ පෙත්සම නීතිඥ සන්ධ්‍යා තල්දූව මහත්මිය මගින් පෞද්ගලික පැමිණිල්ලක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබුණේ බම්බලපිටිය ශ්‍යාබරි ගාඩ්න්ස් 36/5/1 නිවසේ හිමිකාරිය වන ඉනෝකා චන්දිමා සේනානායක යන අය විසිනි.මේ වන විට ඇමෙරිකාවේ පදිංචි තම නැන්දණිය විසින් තමන්ට නීත්‍යානුකූලව පවරාදෙනු ලැබූ මෙම දේපළට ඇතුළුවීමට ඉඩ නොදී ඥානසාර හිමියන් ඇතුළු වගඋත්තරකරුවන් ක්‍රියාකරන බවට පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.



ඒ ආකාරයෙන් තමන්ට නීත්‍යානුකූලව ලැබී තිබූ මෙම දේපළ භුක්ති විඳීමට අවස්ථාව ලබා නොදී වගඋත්තරකරුවන් විසින් එම දේපළ බලහත්කාරයෙන් අයිති කර ගැනීමට ක්‍රියාකරමින් සිටින බවද පෙත්සම්කාරිය සිය පෙත්සමේ සඳහන් කර තිබේ. මෙම දේපළ විකුණා චෛත්‍යයක් ගොඩනැගීම සඳහා අදාළ දේපළ හිමිකරුවන් තමන්ට පවසා ඇති බවට ඥානසාර හිමියන් කියා ඇතැයි ද අධිකරණයේදී කරුණු වාර්තා විණි.

නිමන්ති රණසිංහ