“පොලීසියෙන් එනවා” යැයි පවසමින් නිවසින් පලා ගිය විවාහක තරුණයකුගේ මළ සිරුර නිවෙසට කිලෝමීටරයක් ඈතින් අගුල හේන ප්‍රදේශයේ කොහිල වළක තිබියදී සොයුරා විසින් පසුගිය 19දා රාත්‍රී සොයාගනු ලැබූ බව බණ්ඩාරගම පොලීසිය කියයි.
එම මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බව පවුලේ සමීප ඥාතීහු පවසති.
මෙලෙස මිය ගොස් ඇත්තේ බණ්ඩාරගම ගල්තුඩේ මාරගස් හන්දිය මුදන්නවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි නිරෝෂන් කුමාර නැමති 29 හැවිරිදි විවාහක තරුණයෙකි.
මියගිය තරුණයාට වරෙන්තුවක් තිබී ඇති අතර ඔහු නිරතුරුවම මව සමග අම්මේ පොලිසියෙන් එයිද දන්නෑ මාව ගෙනියන්න යයි පැවසී යැයි මව ලබාදෙන ප්‍රකාශයේ සඳහන් වන බව පොලිසිය කියයි.
එහෙත් එදින පොලිසියෙන් ඔහු සොයා පැමිණියේ නැති බව ඥාතීහු පවසති.
මියගිය තරුණයා මිතුරකු සමග ඔහුගේ නිවසේ සිට මව සාදා දුන් සමපෝෂ ආහාරයට ගනිමින් සිටියදී බල්ලන් බුරන හඬ ඇසීමත් සමගම තරුණයා නිවසින් පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.
ඉන් පසු ඔහු යළි නිවසට නොආ බව මව විසින් කළුතර සිටින වැඩිමහල් පුතුට 19 වනදා දැනුම්දෙනු ලැබීමෙන් පසු ඔහු පැමිණ ගම්වාසින් සමඟ අතුරුදන් තරුණයා සොයා බැලීමේදී නිවසට කිලෝමීටරයක් පමණ ඈතින් අගුල හේන ප්‍රදේශයේ කොහිල වළක මුනින් අතට පාවෙමින් තිබියදී මළ සිරුර සොයාගෙන ඇත.
මළ සිරුර වැටී තිබූ වළ අවට කැලෑව තැලී පොඩිවී තිබෙන අයුරු දර්ශනය වන බව අපරාධ පරීක්ෂණ නිලධාරීහු පවසති.
මළ සිරුර තිබෙන ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.
පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරි සම්පත් බණ්ඩාර මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා මහතා පරීක්ෂණ පවත්වයි
- බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ
0 Comments