basil-ranil-election

විධායක ජනපති ධූරය අහෝසි කිරීම සඳහා වන ජනමත විචාරණ මැතිවරණයක් ඊළගට පැවැත්වීම කෙරෙහි බැසිල් රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ අතර පසුගිය සතියේ සාකච්ඡා පැවති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ පලායාමෙන් පසු අපකීර්තියට පත්වූ නමුත් පාර්ලිමේන්තු බහුතර බලය නිසා තවම බලය රැකගෙන සිටින පොහොට්ටුව හා එජාප රජය ඊළග මැතිවරණයක් පවත්වන්නේ කෙසේද? කෙසේ ජයග්‍රහණය කළ යුතුද? යන්න ගැන පැවති සාකච්ඡා වට ගණනාවකින්පසු මෙම විකල්පය තොරාගෙන ඇතැයි එම ආරංචි සඳහන් කරයි.



පවතින වාතාවරණය යටතේ බලයේ සිටින පක්ෂයට නැවත ආණ්ඩු බලයක් ලබාගැනීම දුෂ්කර කටයුත්තක්ව පැවතීම නිසා විකල්ප ක්‍රියාමාර්ගයක් ලෙස ජනපතිවරණයක් පවත්වා පුද්ගල උරගාබැලීමකට යායුතු බවට මීට මාස කිහිපයකට පෙර තීරණය විය. ඒ අනුව ‘රනිල්‘ හා ‘අනුර‘ අතර සටනක් ගැනත් රනිල් සුළු පක්ෂවල හිතදිනාගෙන උතුරු නැගෙනහිර ඡන්ද වාසිය ගන්නටත් ඒ අනුව කතාවිය.

කෙසේ වෙතත් පසුව සිදුකළ සමීක්ෂණ වලදී එම අදහස ක්‍රියාත්මක කළත් රනිල්ට වැඩි වාසි ලබාගන්නට බැරි බව තේරුම් ගොස් තිබේ. ඒ අනුව වෙනත් විකල්පයක් ලෙස ‘විධායක ජනපති ධූරය‘ අහෝසි කරන ජනමත විචාරණයක් පවත්වන්නට තීරණය වී තිබේ.



ව්‍යවස්ථාව අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා වෙනසක් ලෙස මෙය සිදුවන නිසා ජනතා ඡන්දය මෙන්ම පාර්ලිමේන්තු 2/3 අනුමැතිය යන දෙකම මීට අවශ්‍ය වේ.‘විධායක ජනපති ධූරය‘ අහෝසි කිරීම විපක්ෂ කණ්ඩායම් වලත් ජනතා විමුක්ති පෙරමුණේත් දිගු කාලීන සටන් පාඨයකි. මේ අනුව ඉන්දියාවේ වැනි ‘අගමැති මූලික‘ ආණ්ඩුවක්  පිහිටුවීමේ අදහසින් පළමුව පවත්වන මැතිවරණය ‘ජනමත විචාරණය‘ කි. එහිදී තනතුර අහෝසිවීමක් මිස ආණ්ඩු වෙනසක් සිදු නොවේ. නමුත් මේ දක්වා මැතිවරණ භීතිකාවකින් පෙළෙන පක්ෂ කිහිපයකට එලියට බැසීමට හා මෙය අවස්ථාවක් වෙයි.එසේම මෙවන් ජනමත විචාරණයකදී මහජන රැල්ල සමග පවතින ආන්ඩුවට එක්විය හැකිවේ.විධායක ජනපති ධූරය අහෝසියට සියල්ලන් කැමතිවන නිසා පසුබා සිටින පක්ෂවලට තමන්ගේ තත්වය තීරණය කිරීමට එයින් අවස්ථාවක් නොදෙයි.

මෙම අවස්ථාවට මුහුණදීමෙන් පසු ඊළඟ පාර්ලිමේන්තු මහමැතිවරණය පැවැත්වීමට යෝජනාවී තිබෙන අතර එමගින් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට අපේක්ෂාව වී තිබේ. මේ වනවිට කල්ලි වශයෙන් කැඩී තිබෙන දක්ෂිණාංශික බලවේග වමේ ආණ්ඩුවකට එකතුවීම වැළැක්වීමට උපායක් ලෙස මෙම තීරණය ගෙන ඇතැයිද දේශපාලන ආරංචි වාර්තා කරයි.
මෙම ජනමත විචාරණය බොහෝ විට ලබන 2024 වසරේ මුල් කාර්තුවේදීත් මහමැතිවරණය අවසන් කාර්තුවේදීත් පැවැත්වීම කෙරෙහි යෝජනාවී තිබේ.