bellanvila-incident

අත්තිඩිය, බෙල්ලන්තර පාර ප්‍රධාන පාලමෙන් 19 වැනිදා රාත්‍රි 10.00ට පමණ ඇළට පැන්න 16 හැවිරිදි දැරියගේ මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ සිට මීටර් 100 ක් පමණ බෙල්ලන්විල දෙසින් ගොඩ ගසා තිබියදී 20 වැනිදා පස්වරු 3.00 ට පමණ හමුවී ඇතැයි දෙහිවල පොලීසිය කියයි.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි දකුණු කොළඹ ශික්ෂණ රෝහල් හදිසි මරණ පරීක්ෂක උසාවියේ හදිසි මරණ පරීක්ෂක පාරින්ද කොටුගොඩ මහතා මෘත ශරීරය නිරීක්ෂණය කර එය පශ්චාත් හදිසි මරණ පරීක්ෂණය සඳහා යොමුකරන ලෙස දෙහිවල පොලීසිය වෙත නියෝග කළේය.



මෙලෙස අතුරුදන්ව ඇත්තේ දික්ඔයවත්ත, මිල්ලදිවත්ත, ස්ථීර පදිංචි තාවකාලිකව බෙල්ලන්විල ශ්‍රී සෝමරතන මාවත අංක 67/1 හි පදිංචිව සිටි සෙල්ලකුමාර ප්‍රසන්තා වදනී නම් (16) වියැති දැරියක් වන බව එම ස්ථානයේ තිබී හමුවූ ඇයගේ බවට සැක කරන ගමන් බෑගයේ තිබූ ලිපි ලේඛන අනුව හෙළිවී ඇතැයිද පොලීසිය පැවසීය.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු 20 උදෑසන සිට දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ ඉල්ලීම මත කොළඹ වරාය පොලිස් නාවික කොට්ඨාසයේ කිමිදුම්කරුවන් පිරිසක් පැමිණ රත්මලාන නාවික හමුදාවේ බෝට්ටු යොදාගන අධික ලෙස කිඹුලන් ගැවසෙන ඇළ මාර්ගයේ කිමිදීමට නොහැකි බැවින් විශාල කොකු යොදාගෙන ඇළ මාර්ගය ගැඹුරු කලාපය දිගටම සෝදිසි මෙහෙයුම් කරනු ලැබූ බවත් කිමිදුම් කොට්ඨාස නිලධාරීහු පැවැසූහ.



මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ අධීක්ෂණය යටතේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ධනංජන කුමාර දිසානායක, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා උපපොලිස් පරීක්ෂිකා රේණුකා ගුණවර්ධන, උප පොලිස් පරීක්ෂක චමල් ප්‍රේමරත්න යන මහත්වරු සිදු කරති.
- දෙහිවල-එච්.එම්. ධර්මපාල