Investigations-into-the-shooting-of-Sita-mistaking-it-for-a-wild-elephant

මහියංගන රජමහා විහාර පෙරහරෙන් පසු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරියෙකු විසින් 'සීතා' ඇතාට වෙඩි තැබීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් නියෝග කර තිබෙයි. මෙම පෙරහරට සහභාගී වීමට පැමිණි සීතාට මෙලෙස ඊයේ වෙඩි තබා තිබුණි. සිදුවීමට සම්බන්ධ මාපාකඩවැව වනජීවී කාර්යාලයේ සිවිල් ආරක්ෂක නිලධාරියා ඊයේ (30) ඇප මත මුදාහැර තිබෙයි.
මහියංගනය රාජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්‍යය සඳහා රැගෙනවිත් මහවැලි ගඟ අසළ ගැටගසා සිටි සීතා නමැති ඇතින්නට වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත සිවිල් ආරක්ෂක බලකා සෙබළෙකු වෙඩි තබා ඇත්තේ වන අලියෙක් යැයි සිතා වැරදීමකින් යයි කියැවුණි. ඉන් ඇතින්නගේ පපු ප්‍රදේශයට තුවාල සිදුවී තිබුණි.

ඊයේ අලුයම 3ට පමණ පෙරහරේ කටයුතු අවසන්වු පසු පෙරහරේ ගමන් ගත් අලි ඇතුන් කිහිපදෙනෙකු විහාර භූමියේ මහවැලි ගඟ අසබඩ ගැට ගසා විවේක ගැනීමට සලස්වා තිබුණි.



ඒ අතරවාරයේදී අලුයම 03.30ට පමණ ආරක්ෂාව සඳහා යොදවා සිටි වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙකු මහවැලි ගඟෙන් මෙගොඩට ආ වන අලියෙකු යැයි සිතා ගැටගසා සිටි ඇතින්නකට වෙඩිතබා තිබුණි.
මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක් වුයේ අවුරුදු 48 ක්වු මහරගම සීතා ඇතින්නය.

සිද්ධියෙන් පැයකට පමණ පසු එම ස්ථානයට පැමිණි පශු වෛද්‍ය නිලධාරීන් ඇතින්නට ප්‍රතිකාර සිදු කර තිබුණි.
මේ අතර ඇතින්නගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීම සඳහා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාද පෙරවරුවේ මහියංගනයට පැමිණියේය.
එම අවස්ථාවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ද එක්වී තිබුණි.

මහාචාර්ය අශෝක දංගොල්ල මහතා,



“තුවාල 4ක් නැත්නම් 5ක් තිබෙනවා. පපු ප්‍රදේශයේ හෘදයවස්තුව තියෙන තැන. වෙඩි තියලා තියෙන තැන එච්චර හොඳ නැහැ. ඇතින්න කෑම කෑවට අතට බර දෙන්නේ නැහැ.තුවාලවල ප්‍රමාණය පස්සේ තමයි දැනගන්න පුළුවන්. වේදනාවක් තියෙනවා.. ඇවිදගන්න බැහැ. පන්නන්න නෙමෙයි මරන්නමයි තියලා තියෙන්නේ.”