Katunayake-the-passenger-who-infiltrated-the-Japanese-plane-finds-out-how-he-jumped-all-the-gates

නීත්‍යනුකූල ලියකියවිලි කිසිත් නැතිව ජපානය බලා යෑමේ අරමුණෙන් ගුවන් යානයකට නැග එහි අසුන්ගෙන සිටි පුද්ගලයා ගුවන් තොටුපොළ ආරක්ෂක කවුළුවලින් රිංගා ගුවන් යානය දක්වා කිසිදු බාධාවකින් තොරව ගුවන් යානයට ගොස් අසුන් ගෙන සිටීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පුළුල් විමර්ශනයක් ඇරඹීය.

ඒ අනුව, සිද්ධිය වූ දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් ආගමන විගමන නිලධාරීන් ඇතුළු සෙසු ආරක්ෂක අංශවලින් ද ප්‍රශ්න කිරීම අරඹන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ ය. එමෙන් ම, ගුවන්තොටුපොළේ සීසීටීවී කැමරා ද ඒ අනුව නිරීක්ෂණය කරන බව ඔහු පැවසුවේ ය.

ගුවන්තොටුපොළට ඇතුළු වී ගුවන් යානය දක්වා යාම සඳහා නිසි ආරක්ෂක ක්‍රමවේදයක් ඇතත් කිසිදු නීත්‍යනුකූල ලියකියවිල්ලක් නොමැතිව එම ආරක්ෂක අංශවලින් සහ ආගමන විගමන නිලධාරීන් අතරින් රිංගා මෙම පුද්ගලයා ගුවන් යානයට ගොඩ වී ඇත්තේ කෙසේ ද යන්න දැඩි ගැටලුවක් බව ත් ඒ සඳහා කිසිවකුගේ හෝ කිහිප දෙනෙකුගේ සහය ලැබී ඇත්දැයි සෙවීමට මෙම විමර්ශනය ආරම්භ කළ බව ත් මුදල් මත කිසිවකු මොහු එසේ යානය දක්වා රැගෙන ගියේ ද යන්න සෙවීම මෙහි අරමුණ බව ත් එම නිලධාරියා අවධාරණය කළේ ය.



එමෙන් ම, මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ගැන තොරතුරු සෙවීම සඳහා රහස් පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ද ඒ මහතා කීවේ ය.

මෙම පුද්ගලයා ගුවන් තොටුපොළට ඇතුළුව ආරක්ෂක කවුළුවලින් රිංගා යානය තෙක් ගොස් ඇත්තේ සිය ජංගම දුරකතනය කනේ රුවා ගෙන බව ත් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලත් ආගමන විගමන නිලධාරීන්ගේ සැකය එල්ල නොවීම බරපතළ ගැටලුවක් බව ත් එම නිලධාරියා පැවසුවේ ය.

මෙය ජාතික ආරක්ෂාවට ද තර්ජනය වන සිදුවීමක් බැවින් ඒ පිළිබඳ වහා පරීක්ෂණයක් සිදුකරන ලෙස මීගමුව වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා ද පොලිසියට උපදෙස් දුන්නේ ය. ඒ, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කළ මොහොතේදී ය. සැකකරු මේ මස 6 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණි.

විදේශගත වීමට අදාළ නීත්‍යනුකූල ලියකියවිලි කිසිවක් නොමැතිව ජපානය බලා පිටත්වීමේ අරමුණෙන් මොහු ගුවන් යානයකට නැග අසුන්ගෙන සිටියදී අත්අඩංගුවට ගැනිණි.

ඒ, ගුවන් යානයේ ආසන සම්බන්ධයෙන් මතු වූ ගැටලුවකදී කළ පරීක්ෂාවකින් පසුවය.

ඒ මොහොතේ ගුවන් යානයට නැගීමට පවා අවසරයක් ඔහුට නොතිබූ අතර ජපානය බලා යාමට අවශ්‍ය නීත්‍යනුකූල ලියකියවිලි ද ඔහු සතුව නොතිබිණි.

පසුව ඔහුගෙන් කළ පරීක්ෂාවේදී ඔහු වත්තල හැඳල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව ත් කලක් ජපානයේ රැකියාව කර විවාහ වීම සඳහා මෙරටට පැමිණ ඇති බව ය. ඉකුත් 30 වන දා ඔහු නිවෙසින් පිටව ඇත්තේ ජපානය බලා යන බව සිය බිරියට පවසමින්ය.

මේ අතර, ගුවන් තොටුපොළ හරහා රටින් පිටවන සහ මෙරටට ඇතුළු වන අපරාධකරුවන් කොටු කර ගැනීමට ඇරඹූ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ඉකුත් 1 වන දා සිට යළි ආරම්භ විය.

ගුවන් තොටුපොළ ආරක්ෂක බලධාරීන් ඇරඹී මෙම ආරක්ෂක මෙහෙයුම අරඹා පැය බාගයකට පමණ පසුව එම වැඩපිළිවෙළ ආගමන විගමන නිලධාරීන් සිය භාරයට ගත් අතර මෙම පුද්ගලයා ජපානය බලා ගුවන් යානයකට නැග ඇත්තේ, මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක පවතිද්දී ය.

(කීර්ති මෙන්ඩිස්)