The-tree-fell-on-the-bus-when-it-slowed-down-to-stop

ඊයේ කොල්ලුපිටිය ප්‍රදේශයේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් පස් දෙනෙකු මියයාමේ සිදුවීමට අදාළ තවත් තොරතුරු වාර්තාවී තිබේ. සිද්ධිය වූ අවස්ථාවේ බස් රථයේ 17 දෙනකු පමණ සිට ඇති බව පොලිසිය පවසයි.
මියගිය පස්දෙනාම පිරිමි පුද්ගලයින් වන අතර ඔවුන් බස් රථයේ මැදට වෙන්නට අසුන්ගෙන සිටි අයයි.
වැලිසර පදිංචි අරුණ ටිරාන් ප්‍රනාන්දු (24), මාතලේ පදිංචි එම්. එස්. රත්නායක (31), කොළඹ 13, කොටහේන පදිංචි කේ. එස්. ප්‍රියන්ජන් (34) අහංගම පදිංචි එච්. ජී. ඒ. චතුරංග (35) සහ පෑලියගොඩ පදිංචි බාල ක්‍රිෂ්ණන් සුබ්‍රමනියම් (60) යන පස්දෙනා මෙසේ මියගොස් ඇතැයි පොලිසිය කියයි.
ඩුප්ලිකේෂන් පාරේ බස් නැවතුමට මීටර් 10 ක් පමණ දුරින් මගින් ගැනීම සඳහා බස් රථයේ වේගය අඩුකර එය නැවැත්වීමට සුදානම් වූ අවස්ථාවේ මෙම ගස කඩා වැටී ඇති බව පොලිසිය පවසයි.
මේ බසය කොළඹ සිට මතුගම බලා ධාවනය වෙමින් තිබියදී උදේ 6.15 ට පමණ අනතුර සිදු වී තිබේ.

දෙණියායෙන් අලුයම 1.30ට පිටවී ඇති බසය බැස්ටියන් මාවතේ බස් නැවතුම්පොළ වෙත පැමිණ, පසුව නැවත අලුයම 5.45ට මතුගම ඩිපෝව බලා ධාවනය වෙමින් තිබියදී මේ අනතුරට ලක්ව තිබේ. අනතුර සිදුව ඇත්තේ කොටුවෙන් ගමන් ආරම්භ කර මිනිත්තු 20කට පමණ පසුවය. ගස වැටෙන අවස්ථාවේ එම බසය ගස අසල නවතා එයට මඟින් නංවා ගැනීමට සූදානම් වී ඇත. බසය මතට ගස වැඩි ඇත්තේ ඒ ස්ථානයේ බස් රථය නතර කර තත්පර කීපයක් අතරතුරදිය.
එම විශාල ගස මහා හඬක් නංවමින් බස් රථයේ බඳ කොටස මතට එක්වරම කඩා වැටී ඇති අතර බඳ ප්‍රදේශයේ ගමන්ගත් මගින් රථය තුළ සිරවී සිට ඇත. අනතුරින් බස් රථයේ බඳ කොටස දෙකට කැඩි තිබිණි.
රෝහලට ඇතුළත් කළ මඟින් 9 දෙනා අතරින් පස් දෙනකු  රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ අනතුර වන විට මඟින් වැඩි ප්‍රමාණයක් මේ බසයේ ගමන් නොකිරීම හේතුවෙන් ජීවිත හානි ප්‍රමාණය අවම වී තිබේ. එසේ නොවන්නට විශාල ඛේදවාචකයක් වීමට ඉඩකඩ තිබුණ බව ආරක්ෂක අංශ සඳහන් කළේය.

මිය ගිය අය සියලු දෙනාම පාහේ රැඳී සිට ඇත්තේ ගසේ කඳ බසය මතට වැටුණු ස්ථානය අසල අසුන්වල බවද මූලික විමර්ශන වලදී පෙනී ගොස් ඇත, ඇතැම් මඟින් ගස බසය මතට පතිත වන අවස්ථාවේ එය දැක බසයෙන් පැන දිවගොස් ඇති අතර, ඇතැම් අය බසය තුළ සිර වී සිට ඇත. එසේ සිර වී සිටි අය පිටතට ගැනීමට ආරක්ෂක අංශ ඇතුළු නිලධාරීන්ට මහත් පරිශ්‍රමයක් දරමින් බසස් තහඩු පවා කපා ඉවත් කිරීමට සිදුව තිබිණි.
සිද්ධිය සැලවීමත් සමඟ එම ස්ථානයට ගිය පොලිසිය, ගිනි නිවන හමුදාව, ගුවන් හමුදාව හා යුද හමුදාව එක්ව මහත් පරිශ්‍රයෙක් යොදා ගසේ කොටස් කපා ඉවත් කරමින් බස් රථයේ සිරවී සිටි මගින් බේරාගෙන ගිලන් රථ මගින් කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇත.
තුවාලකරුවන් සිවුදෙනකු රෝහලේ ප්‍රතිකාර ලබන බවත්. ඔවුන් අතර කාන්තාවක ද සිටින බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. සිද්ධියෙන් බස් රථයේ රියැදුරුට හා කොන්දොස්තරවරයාට කිසිදු අනතුරක් සිදුව නොමැත.



කොළඹ නගර සීමාවේ ප්‍රධාන මාර්ග රැසක් සහ මාර්ග දෙපස ඇති ගස්වල අයිතිය ඇත්තේ කොළඹ මහ නගර සභාවට වන අතර කොළඹ බේස්ලයින් මාර්ගය සහ තවත් මාර්ග දෙකක් පමණක් මාර්ග සංවර්ධන අධිකාරියට අයිති බව වාර්තාවේ.
කොළඹ නගරයේ අනාරක්ෂිතව ඇති නුග සහ බෝ ගස් සියල්ලම ඉදිරි කාලයේදී ඉවත් කිරීමට පියවර ගන්නා බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන පැවසුවාය.
එහෙත් ඉදිරි කාලයේදී මෙවැනි අනතුරුදායක ශාක සම්බන්ධයෙන් තදින් ක්‍රියාකරන බවත් හැකි ඉක්මනින් ඒවා ඉවත් කිරීමට පියවර ගන්නා බවද ඇය පැවසුවාය.