Sri-Lankan-planes-stop-to-ask-passengers--Sisira-reveals-that-the-story

කටුනායක ගුවන් තොටුපලේ සිට නේපාලයේ කත්මන්ඩු නුවර හා ඉන්දියාවේ මුම්බායි බලා අද (01) උදෑසන පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රීලන්කන් ගුවන් යානා දෙකක් අවලංගු වීමෙන් මගීන් රාශියක් දැඩි අපහසුතාවට ලක්ව තිබුණි.
නේපාලයට හා ඉන්දියාවට යන්නට සිටි යානා දෙකම නතරවූයේ ‘තාක්ෂණික දෝෂ‘ මතුවුණ බව දක්වමිනි.
නමුත් මෙම ගුවන් යානාවල තාක්ෂණ දෝෂ නොතිබුණ අතර තිබී ඇත්තේ තාක්ෂණ නිලධාරීන්ගේ වර්ජනයකි.
ඒ වර්ජනය ගැන හෝ ඒවා විසඳීමක් ගැන හෝ ගුවන් සේවා භාර ඇමති නිමල් සිරිපාල කතා නොකරන අතර ගුවන් සේවා ප්‍රමාදයන් ගැන විශේෂ රැස්වීමක් පමණක් හෙට (2) වනදාට කැඳවා තිබේ.


අද යානා දෙකක අපහසුතාවට පත්වූ මගීන් හෝටල් වලට පිටත් කර හෙටට ගමන් කල් දමා ඇත.

නේපාලයට යන මගීන් අතර දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාද සිටි අතර ඔහු
 පැවසුවේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ගුවන් ගමන ප්‍රමාද වී ඇති බවයි.
නේපාලයට යන යානයට උදේ 8.20 ට නැගි මගීන්ට පැය දෙකක් තුනක් තිස්සේ ඒ තුළ රැඳී සිටීමට සිදුවූ අතර යානය ගමන් ඇරඹීයේ නැත. එම කාලය තුළ යානය ගමන් කරන අතරවාරයේ ලබාදෙන ආහාර වේලද  නවතා සිටියදී ලබාදී තිබේ.
එක් මගියෙකු සමාජ මාධ්‍ය තුළට අදහස් දක්වමින් කියා ඇත්තේ තමන් මුල් වරට ගොඩබිමේ නවතාතිබෙන යානයකින් ‘මීල්‘ එකක් ගත් බවයි.

මෙරට ගුවන්යානා ප්‍රමාදවීම් සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් මතුව ඇති පසුබිමක කිසිදු හේතුවක් පූර්වයෙන් නොදන්වා වර්ජන ක්‍රියාත්මක කිරීම නිසා දෙස් විදෙස් මගීන් දැඩි අපහසුතාවට ලක්ව තිබේ.
ඇතැමුන් ගමනාන්තයේ කිසියම් රැස්වීමකට යාමට නැතහොත් ගමනාන්තයේ සිට තවත් යානයකින් වෙනත් රටකට යාමට සැලසුම් කරගෙන මෙම ගමන්වල යෙදෙන බැවින් ඔවුනගේ මුළු සැලසුමම කඩාකප්පල් කිරීමට මෙම අවලංගු කිරීම් හේතුවී තිබේ.

මගීන්ට නීතිමය වශයෙන් පියවර ගතහැකි තරමේ අසාධාරණයක් මෙතැනදී සිදුවේ.
අනෙක් අතට ශ්‍රී ලංකන් යානා වල ගමන් කිරීමට තිබෙන විශ්වාසය කඩවන අතර එහි ඉදිරි ගමන් බිමන් නොයා ඒ සඳහා මගීන් වෙනත් විකල්පයන් සොයා යාමේ ප්‍රවණතාවයක්ද මතුව තිබේ.

වර්ජනය සඟවා කාර්මික දෝෂයක් නිසා වෙනත් ගුවන් යානයක් ලබාදෙන බව බලධාරීන් පැවසූවත් එය ද සිදු නොවුණු අතර දෙස් විදෙස් මඟීන් රැසක් ගුවන්තොටුපොළේදී සිය අප්‍රසාදය පළ කර තිබුණි.

රටේ ජාතික ගුවන් සේවා සන්නාමයට කැළලක් එක් කරන මෙම ගුවන් ගමන් ප්‍රමාදවීම් පිළිබඳ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය හේතු දැක්වීමක් කර තිබුනේ නැත.

ඒ ගැන විමසූ මාධ්‍යයට ඔවුන් පැවසුවේ ගුවන් ගමන් ප්‍රමාදවීම් පිළිබඳ කරුණු විමසීමට හෙට පෙරවරු 9.30ට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී විශේෂ රැස්වීමක් පැවැත්වෙන බව පමණකි. ඊට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පාලනාධිකාරියේ නිලධාරීන් සහ සියලුම වෘත්තිය සමිති නියෝජිතයින් ද එක්වන බව කියා ඇත.
වර්ජනයක් සිදුවන බව කියා තිබුනේ අපහසුතාවට පත්වන මගීන් අතර සිටි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාය.