රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී වකුගඩු සැත්කමකින් පසු මියගිය දරුවාගේ වෛද්‍ය වාර්තා එම රෝහල විසින් මෙතෙක් පොලිසියට ලබා නොදීම සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය බොරැල්ල පොලීසියට පෙරේදා (11) නියෝග කළාය.මෙම සිද්ධියට අදාළ නඩු විභාගය පවත්වාගෙන යාමේදී සාක්ෂිකරුවන්ට අදාළ පරීක්ෂණ වාර්තා පෙන්වා සාක්ෂි ලබාගැනීමට අවශ්‍ය අවස්ථාවේදී එම වෛද්‍ය වාර්තා නොතිබීම හේතුවෙන් නඩුවට බාධා පැමිණ ඇති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
මරණයට පත් දරුවාගේ සියලුම වෛද්‍ය වාර්තා ලබාදෙන ලෙසට රිජ්ජේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂවරයාට මින් ඉහතදී අධිකරණයෙන් කළ නියෝග ප්‍රකාරව මෙතෙක් එම වාර්තා ලබා දී නැතැයි බොරැල්ල පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.එම රෝහලේ අධ්යක්ෂවරයා අධිකරණ නියෝග පරිදි අදාළ ලේඛන ලබා නොදීම සම්බන්ධයෙන්පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළ යුතුව ඇති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය, රෝහලෙන් එම වාර්තා ලබා නොදෙන්නේ නම්, ඒ බව විමසීම සඳහා රෝහල් අධ්යක්ෂවරයා අධිකරණයට කැඳවිය යුතුව ඇති බව ද ප්‍රකාශ කළාය.
“උසාවි නියෝග දීලත් මේවා දෙන්නේ නැත්නම්, පැමිණිල්ල මෙතනට ඇවිල්ල එක එක දේවල් කියලා හරියන්නේ නැහැ. මේ සිද්ධිය සර්ව සාධාරණව ඉෂ්ට වෙනවා කියලා කියලා හිතලයි සියල්ලෝම බලාගෙන ඉන්නේ. මේ වාර්තා ලබාදෙන්න රෝහල් අධ්යක්ෂවරයා දැනගන්න ඕන. නියෝග දීලා දීර්ඝ කාලයක් වෙනවා. මේවා දෙන්නේ නැත්තේ ඇයි කියලා රෝහල් අධ්යක්ෂවරයාට නොතීසියක් හරි සිතාසියක් හරි දීලා ගෙන්නලා අහන්න වෙනවා. සාක්ෂි විමසීම කරන්නේ කොහොමද වෛද්‍ය වාර්තා නැතුව. ඒ වාර්තා ලැබුණේ නැත්නම් පොලීසිය ඒ බව මට දන්වලා අවශ්‍ය නියෝග ලබාගන්න ඕන' යැයි මෙහිදී මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ දී සඳහන් කළාය.එම රෝහලේ පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා මගින් අදාළ වාර්තා පිළිබඳව විමසා සිටි අතර, එහි පිටපත් ලබාගැනීමට ප්‍රමාද වූ බව රෝහල සඳහන් කර ඇතැයි මෙහිදී බොරැල්ල පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. රෝහල අදාළ වාර්තා ලබා නොදෙන්නේ නම්, ඒ සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කර අදාළ නියෝග ලබාගන්නා ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරිය බොරැල්ල පොලිසියට නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය අධිකරණය හමුවේ පෙරේදා(11) යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.
මෙම සිද්ධියට අදාළව සාක්ෂි දීම සඳහා මහාචාර්ය රන්දුල රණවක මහතා නොතීසි මත අධිකරණය හමුවේ ො පෙනී සිටි අතර, ඉකුත් 2022 වසරේ දෙසැම්බර් මස 25 වැනි දින මෙම දරුවා සැත්කමින් පසු තමන් විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබූ බව වෛද්‍යවරයා සඳහන් කර සිටියේය. දරුවාට දිගටම රුධිරය කාන්දුකරණයක් කිරීමට අවශ්‍ය වූ අතර, එය දරුවාගේ දෙමාපියන්ට දැනුම් දුන් බවද සාක්ෂි දෙමින් විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.මෙම දරුවාට ශල්‍යකර්මය කරද්දී යොදා තිබූ සටහන් සහිත වාර්තා සහ දරුවා වාට්ටුවට ඇතුළත් කිරීමෙන් පසු ඇඳ ඉහපත් වාර්තා අතර පරස්පරතාවක් තමාට නිරීක්ෂණය වූ බවත්, අදාළ ශල්‍යකර්මය කිරීමෙන් පසු එම දරුවා සීමාවාසික වෛද්‍යවරයකු විසින් පරීක්ෂාවට ලක්කරනු ලැබ ඇති බවත් මහාචාර්යවරයා සිය සාක්ෂිය ලබාදෙමින් සඳහන් කළේය.
එම වෛද්‍යවරයා සිය සටහන තබමින් දරුවාගේ වකුගඩු දෙකම අයින්කර ඇති බවට සඳහන් කර තිබූ නමුත්, ඒ වෛද්‍යවරයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් එහි සටහනක් යොදා නොමැති බැවින් එය නිවැරැදි එකක් නොවන බවත් මහාචාර්යවරයා සිය සාක්ෂිය දෙමින් ප්‍රකාශ කළේය.පසුව තමන් ඩීඑම්එස් ඒ නමැති වෛද්‍ය පරීක්ෂණය සිදුකර, දරුවාගේ වකුගඩු දෙකම නොමැති බවට තහවුරු කරගත් අතර, දරුවාට දෙමාපියන්ගේ වකුගඩුවක් හෝ බද්ධ කිරීමට නම් දරුවා නියමිත බරෙන් යුක්ත විය යුතු සහ එයට කාලයක් ගතවන බවත් ඒ සඳහා පරීක්ෂණ සිදුකරමින් සිටි බවත් මහාචාර්යවරයා සිය සාක්ෂියෙන් කරුණු ඉදිරිපත් කළේය.
මෙම දරුවාගේ මරණය සම්බන්ධයෙන් රෝහලේ අධ්යක්ෂවරයා විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරනු ලැබූ බවත්, තමන් එහිදී ප්‍රකාශයක් දුන් බවත් මහාචාර්යවරයා සිය සාක්ෂියෙන් සඳහන් කළේය.වැඩිදුර සාක්ෂි විභාගය ලබන 25 වැනිදා තෙක් කල් තැබූ අධිකරණය මරණ පරීක්ෂණ සාක්ෂි ලැයිස්තුවක් එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බොරැල්ල පොලිසියට නියෝග කළේය. මෙම සිද්ධියෙන් මරණයට පත්වූයේ ශ්‍රී ඥානානන්ද මාවත, කොටහේන, කොළඹ 13 පදිංචිව සිටි මොහොමඩ් පස්ලිම් හම්බි පස්ලිම් නමැති තුන් හැවිරිදි දරුවෙකි.
නිමන්ති රණසිංහ
0 Comments