elephant-gun-bullets

සෑම දළ ඇතකුගේම ශරීරයේ පොහොර උර භාගයක පමණ වෙඩි උණ්ඩ පවතින බව පරිසර, ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධන පිළිබඳ පාරිලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තොරතුරු අනාවරණය වී යැයි එම කාරක සභාවේ සභාපති, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය. මෙම වෙඩි උණ්ඩවලින් භාගයක්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඒවා බවටද තොරතුරු හෙළිදරව් වී යැයි ඔහු සඳහන් කළේය. මේ අතර අලි ඇතුන්,

දිවියන් මරා දැමීම සම්බන්ධයෙන් නියම කෙරෙන දඩ මුදල එම සතුන්ගේ කොටස් අලෙවියෙන් ලැබෙන ආදායමට වඩා බෙහෙවින් අඩු බව පරිසර ස්වභාවික සම්පත් සහ තිරසරසංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.

සාමාන්‍යයෙන් දළ ඇතකු මරා දැමීම වෙනුවෙන් ලැබෙන දඩ මුදල රුපියල් ලක්ෂ 5 ක් වුවත් එම දළ විකිණීමෙන් ලබාගත හැකි ආදායම ලක්ෂ දහයකට වැඩි බවද එහිදී තොරතුරු අනාවරණය විය.මේ හේතුවෙන් එම දඩ මුදල වැඩි කිරීමට අවධානය යොමු කරන ලෙස කාරක සභා සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.මේ අතර අලි ඇතුන්ගේ ආරක්ෂාව සහ වනජීවී වැටලීම් සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාවේ සහාය ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට ද කමිටුව උපදෙස් දුන්නේය.

ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගැනීමට දැනටමත් ප්‍රතිපාදන තිබුණ ද එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී අපහසුතා පවතින බව කමිටුවේදී හෙළිවිය.

මේ අතර 2011 වර්ෂයෙන් පසු අලි ඇතුන් පිළිබඳව සංගණනයක් පවත්වා නැතැයි පවසන අජිත් මාන්නප්පෙරුම මහතා එවැනි සංගණනයක් පවත්වන්නේ නම් ස්වේච්ඡා සංවිධාන ඒ සඳහා උදව් කිරීමට සූදානම් බවද සඳහන් කළේය.පරිසර ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගම්පහ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය 10 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.පරිසරය සම්බන්ධයෙන් වෙනම කොටසක් පළමු වැනි ශ්‍රේණියේ සිට 4 වැනි ශ්‍රේණිය දක්වා පෙළපොතට ඇතුළත් කිරිමටද කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශයට නිර්දේශ කෙරිණි.
අංජුල මහික වීරරත්න