අවිස්සාවේල්ල තල්දුව ද්විත්ව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටිය දී පොලිසිය සමග ඇති වූ හදිසි තත්ත්වයක දී මියගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වූ කේ.ඒ. මහේෂ් ධනංජය (22) නමැත්තාගේ අවසන් කටයුතු සිදුකළ ඊයේ 18 වැනිදා පස්වරුවේ ජනතාව ප්‍රීති වෙමින් අවිස්සාවේල්ල නගරය හා අවට ප්‍රදේශය පැය 2ට ආසන්න කාලයක් රතිඤ්ඤා දැල් වූ බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

තල්දූව හන්දිය, අවිස්සාවේල්ල නගරය, මානියංගම, ගලබලන කන්ද, ඇත්පන්තිය ඇතුළු ප්‍රදේශ රැසක ඊයේ පස්වරු 2.00 සිට ජනතාව මෙලෙස ප්‍රීති වෙමින් රතිඤ්ඤා දැල් වූ බව ද අවිස්සාවේල්ල උසස් පොලිස් නිලධාරියෙක් කීය.මොහුගෙන් ප්‍රදේශයේ ජනතාවට එල්ලව තිබූ බලපෑම් හා පීඩන හමුවේ ජනතාව මේ ආකාරයෙන් ඔවුන්ගේ සතුට පළකරමින් රතිඤ්ඤා දල්වා තිබූ බවද කීය.


මෙම සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන සිටිය දී ඔහුට අයත් පිස්තෝලයක් ලබා දීමට යැයි පවසා පොලිස් නිලධාරීන් සමග ඉකුත් 15වැනිදා අලුයම මානියංගම, ගලබලන කන්ද ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේ මානියංගම ඇත්පන්තිය පාරේ දී පොලිස් නිලධාරියකුගේ ගෙලට මංචු කුට්ටම දමා ගෙල සිරකර පොරබදා පලායාමට උත්සාහ කිරීමේ දී පොලිස් නිලධාරියා බේරා ගැනීමට ගත් උත්සාහයේ දී සැකකරු ගේ ගෙල සිරවීමකින් මිය ගියේය.

මානියංගම දී ඊයේ පස්වරුවේ ඔහුගේ අවසන් කටයුතු සිදුකර ඇත.

මියගිය පුද්ගලයා අවිස්සාවේල්ල හා අවට ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වූ දැනට ඩුබායි හි සැඟව සිටින මන්නා රමේෂ් නමැත්තාගේ ප්‍රධාන ගෝලයකු බව ද පොලිසිය පවසයි. අවිස්සාවේල්ල ඉහළ තල්දූව ප්‍රදේශයේ දී පසුගිය 20 දින රාත්‍රියේ ටී 56 ගිනි අවියකින් ත්‍රිරෝද රථයක ගමන් ගත් පිරිසක් ඉලක්ක කර සිදු කළ වෙඩි පහරකින් දෙදෙනකු මියගොස් තවත් සිව්දෙනෙක් තුවාල ලැබූහ. එම සිද්ධියෙන් වෙඩික්කරු පැමිණි යතුරුපැදිය පදවා ඇත්තේ මෙම මියගිය සැකකරු බව ද පොලිසිය කියයි.
ඉන්දිකා රාමනායක