අතුරුගිරිය පනාගොඩ පරාක්‍රම විද්‍යාලයේ නව වැනි වසරේ ඉගෙනුම ලබන දාහතර හැවිරිදි සිසුවියක හදිසියේ ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් ඔරුවල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පෙරේදා (18) ජීව්තක්ෂයට පත්ව ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම, මුල්ලේගම,සීලාලංකාර මාවත ප්‍රදේශයේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ දිනිති තිමාරා නමැති සිසුවියකි.

ඇය පෙරේදා උදෑසන පාසල් ගොස් යළි නිවසට පැමිණ මිතුරියක සමග උඩුමහලේ පාඩම් කරමින් සිටිය දී “අම්මේ මගේ අත ටිකක් රිදෙනවා" යැයි පවසමින් පහළ මහලට පැමිණ ඇතැයි කියති.

මව නිවෙසේ තිබූ බෙහෙත් වර්ගයක් දියණියගේ අතෙහි ගල්වා, අතගා ඇති අතර පසුව නැවත වරක් උඩුමහලට ගිය සිසුවිය සමග පාඩම් කරමින් සිටිය දී එකවරම වමනය කරමින් බිම ඇද වැටී ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී  වී ඇති බව පොලිසිය කියයි.

ඇය එවෙලේම ඔරුවල දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ, දියණිය මිය ගොස් ඇති බවයි.තලංගම හදිසි මරණ පරීක්ෂක ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය ඔරුවල දිසා රෝහලට ගොස් දේහය පරීක්ෂා කර ස්ථානීය පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණපරීක්ෂණය සඳහා දේහය හෝමාගම මූලික රෝහලට රැගෙන යන ලෙසට පොලිසියට නියෝග කළාය.



මෙම දියණියගේ හෘදයේ තිබූ රුපියල් දෙකක කාසියක ප්‍රමාණයට සමාන සිදුරක් මීට මාස පහකට පමණ පෙර කොළඹ රිජ්ජේ ආර්යා ළමා රෝහලේ දී සැත්කමකට භාජන කර ඇති අතර ඉන්පසුව ඇය සාමාන්‍ය පරිදි දෛනික කටයුතු කරගෙන ගොස් ඇති බව කියති.ඇය සංගීතයට ඉතා දක්ෂ සිසුවියක බැවින් පාසලේ හා ඉන් බැහැරව ඊට සම්බන්ධ ක්‍රියාකාරකම්වල ද යෙදී ඇත.සිසුවියගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ දී දේහය පශ්චාත් පශ්චාත් මරණ පරීක්ෂණයට ඊයේ (19) යොමු කිරීමට නියමිතව තිබිණි.

ශාන්ත ප්‍රදීප් කුමාර