Bangladesh-to-move-to-practical-school-curriculum-by-scrapping-exams

මේ වනවිට යුරෝපයේ හා බටහිර රටවල ක්‍රියාත්මක නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව විභාග මූලික නොවන ප්‍රායෝගික ක්‍රියාකාරකම් මත පදනම්වූ විෂයමාලාවන් පාසල් තුළ ඉගැන්වේ. සිසු දරුවන් ඒ ඒ කටයුතු ප්‍රායෝගිකව යෙදවීම තුළින් ස්වයං හැදෑරීමකට ඉඩ සලසා ඇති අතර පාසල සිදුකරන්නේ මගපෙන්වීමක් පමණි.


කෙසේ වෙතත් තවමත් තුන්වන ලෝකයේ රටවල් රැසක සාම්ප්‍රදායික විභාග මූලික විෂයමාලා අධ්‍යාපන ක්‍රමය පවතී.
මෙය වෙනස් කිරීමට දකුණු ආසියාවේ වේගයෙන් සංවර්ධනය කරා පියනගන රටක් වන බංග්ලාදේශය කටයුතු කර තිබේ.
 වත්මන් අධ්‍යයන වර්ෂයේදී අධ්‍යාපන අමාත්‍යවරිය දීපු මෝනි මෙම වෙනසට මුලපුරා ඇති අතර ඇය විවිධ සාකච්ඡා සහ විවේචන මධ්‍යයේ හයවන සහ හත්වන ශ්‍රේණිවල විභාග අවලංගු කර ප්‍රායෝගික වැඩ සහිත නව විෂය මාලාව හඳුන්වාදී ඇත. ඇය සඳුදා දින ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවා ඇති බව එරට මාධ්‍ය පවසයි.
මුල් අදියරේදී වත්මන් අධ්‍යයන වර්ෂයේ හයවන සහ හත්වන පන්ති සඳහා නව විෂයමාලාව හඳුන්වා දී ඇති අතර ඉදිරි වසර කිහිපය තුළ සියලුම ද්විතීයික පන්ති සඳහා එය හඳුන්වා දෙනු ඇත.

නව විෂය මාලාව තුළ ප්‍රායෝගික ඉගෙනීම අවධාරණය කර ඇත.
කෙසේ වෙතත් විභාග අවලංගු කිරීම තුළින් මෙම අධ්‍යාපන ක්‍රමය තුළ සිසුන් පීඩාවට පත්වන බව මවුපියෝ පවසති. ඔවුන් ඉල්ලා සිටියේ මේ ක්‍රමය අතහැර සාම්ප්‍රදායික ක්‍රමයට නැවත පැමිණෙන ලෙසයි. 
(බංග්ලා නිවුස් ඇසුරිනි)