The-20-year-old-girl-who-came-to-the-wedding-ceremony-died-suddenly-after-an-impotence

පුත්තලම නගරයේ උත්සව ශාලාවක ඊයේ (29) පැවැති මංගල සාදයකට එක්වී සිටි තරුණියක හදිසියේ රෝගී වී පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්වී ඇති බව පුත්තලම මූලස්ථාන පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ආණමඩුව නගරයේ පදිංචි වී සිටි විසි හැවිරිදි එච්.එම්. අයෝධ්‍යා දේශානි විජේවර්ධන නමැති තරුණියක බව පොලිසිය සඳහන් කරයි.

දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලේ බාල දරුවා වන මෙම තරුණිය පාසල් කටයුතු වලින් පසු විවිධ සමාජ කටයුතු වලට දායක වී සිටි බව කියයි.

එම තරුණිය පුත්තලම නගරයට ආසන්නයේ ඇති උත්සව ශාලාවක ඊයේ පැවැති මංගල සාදයකට එක්වී සිටි බවත්,

එහිදී කිසියම් මස් වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු ආසාත්මිකතාවට පත් වී ඇති බවත් කියති.

එසේ ආසාත්මිකතාවට පත් වූ තරුණිය විනාඩි කිහිපයක් යාමට මත්තෙන් දැඩි ලෙස අසාධ්‍ය තත්වයට පත් වී පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය ඒ වන විටත් මිය ගොස් සිටි බව රෝහල් බලධාරියෙක් පැවැසීය.
මිය ගිය තරුණියගේ මරණය සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් දුන් පුත්තලම මූලික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි කුලෙන්ද්‍ර ප්‍රේමදාස මහතා මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරීමටත් පියවර ගත්තේය.
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)