Many-more-frauds-Fort-Registrar-revealed-court

මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රංජනී නමැති ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය තවත් අවස්ථා කිහිපයකදී සැකකරුවන් වෙත කූඨ ලේඛන සපයා දී ඇති බව අනාවරණය වී තිබෙයි.
කොල්ලුපිටිය පොලිසිය මඟින් ගොනු කර තිබූ නීති විරෝධී දුම්වැටි නඩුවකට අදාළව සැකකරුවකුට පනවා තිබූ විදේශ ගමන් තහනම් නියෝගයක් ඉවත් කරන්නටත් එම විදේශ ගමන් තහනම ගැන අධිකරණය නියෝගයක් ඉවත් කළ බවට ව්‍යාජ ලෙස ලේඛනයක් සකස් කර අධිකරණයේ අණ පරිදි ලෙස සඳහන් කරමින් ආගමන විගමන පාලකවරයාට 2022.09.21 දින ෆැක්ස් පණිවුඩයක්ද යවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ.


මෙම කටයුත්තේදී දෙන්නෙකු උදව් කර තිබේ.
මෙම චෝදනා සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ නියෝග කළේ කූඨ ලේඛනයක් සකස් කළ බවට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වර්ය සහ නඩු ගොනුව අස්ථානගත කළ බවට රක්ෂිත භාරයේ පසුවන අරුණ කීර්ති කුමාර යන දෙදෙනා එළඹෙන නොවැම්බර් මස 08 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.



මේ අතර, රුපියල් ලක්ෂයක මුදලක් හුවමාරු වීම සම්බන්ධයෙන් අල්ලස් පනත යටතේ විමර්ශන ආරම්භ කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට හෝ නම් කරන නියෝජිතයකුට ඉදිරි දිනයක අධිකරණයේ පෙනී සිටින ලෙසත් නියෝග කරමින් නොතීසි නිකුත් කර තිබෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනයෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති සැකකාර රෙජිස්ට්‍රාර්වරියට ඇප ලබා දෙන ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල සිදු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා ඇය රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද නියෝග කළේය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් අවධාරණය කළේ වරදේ ස්වභාවය සහ මෙම අධිකරණයේ යතුරු ලියන සේවකයන්ට බලපෑම් කරමින් ව්‍යාජ නියෝග යතුරු ලියන කරවාගෙන ඇති බැවින් මෙම නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් විය හැකි බවයි.

ඒ හේතුවෙන්, මහේස්ත්‍රාත්වරයා අස්ථානගත වූ නඩු ගොනුව සොයා ගැනීම ඇතුළු කාරණා හේතුවෙන් දෙවන චුදිත වෙනුවෙන් කළ ඇප ඉල්ලීමද ප්‍රතික්ෂේප කළේය.

 සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට ඇති ඉඩකඩ සලකා බලා ඇය ලබන නොවැම්බර් මස 08 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරු සමඟ පසුගිය පෙබරවාරි සිට ඔක්තෝබර් දක්වා දුරකතන සංවාද 86 ක් පවත්වා තිබෙන අතර, මෙම අධිකරණය අසල සිටියදීම දුරකතන සංවාද සිදු කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

එමෙන්ම සැකකාර රෙජිස්ට්‍රාර්වරිය සැකකරුට වට්ස් ඇප් මඟින් බැංකු ගිණුම් අංකයක් යොමු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ගිණුම් පරීක්ෂා කිරීමට අවශ්‍ය බවත් රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටි අතර, මහේස්ත්‍රාත්වරයා ඊට අවසර ලබා දුනි.



මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ දෙවන සැකකරු අස්ථානගත වූ නඩු ගොනු කැලණි ගඟට වීසි කර ඇති අතර ස්ථාන පරීක්ෂාව සිදු කළ විට ප්‍රකාශ පරස්පර බවද අනාවරණය වූ බවයි.

එම නිසා  එම නඩු ගොනුව සම්බන්ධයෙන් සැක සහිත බැවින් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ජීවිතාරක්ෂණ සමාගමකින් රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් ව්‍යාජ ලේඛන සකසා වංචා කිරීම හේතුවෙන් වංචා විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගත් පුද්ගලයාට එල්ලවූ චෝදනා 8න් 7කට වරදකරු කරමින් කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් පසුගිය පෙබරවාරි මස 15 වැනිදා සිරදඬුවම් පමුණුවා තිබුණු බවත් එදිනම අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් යොමු කරමින් අදාළ සැකකරු ඇප ලබාගෙන තිබූ බවත් බී වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒ අනුව, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට එම නඩු ගොනුව මහාධිකරණය වෙත යැවීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු ලේඛන භාර නිලධාරීනිය විසින් සෙවුවද එය හමුවී නැත.

එවැනි තත්ත්වයන් තිබියදී නඩු ලේඛන භාර නිලධාරිනිය විසින් එය ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරියට දැන්වුවද ඇය එය මඟහැර සිට ඇති බව විමර්ශන නිලධාන් අධිකරණය හමුවේ පවසා තිබෙයි.

පසුව සැකකාර රෙජිස්ට්‍රාර්වරිය පසුගියදා (12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ යතුරුලියන තැනැත්තියට විදෙස් ගමන් තහනමක් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන ආකෘති පත්‍රයක් නඩු අංකයක්ද සමඟින් දී එය ටයිප් කර දෙන ලෙස පවසා ඇති බව ඇගේ ප්‍රකාශ සඳහන් කර ඇති බවත් ඒ පිළිබඳ සැක සිතී යතුරුලියන තැනැත්තිය, ලේඛන භාර නිලධාරිනියට මේ පිළිබඳ දැනුම්වත් කර තිබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.



අදාළ ලේඛනයේ ඇති නඩු අංකය හා අස්ථානගත වී ඇති නඩු අංකය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී අදාළ අංක දෙකම එකක් බව තහවුරු වී ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේය.

මේ අතර, සැකකාරිය ආගමන විගමන පාලකවරයා වෙත ෆැක්ස් පණිවුඩයක් යවා අදාළ සැකකරුගේ විදෙස් ගමන් තහනම ඉවත් කළ බව පවසා ඇති අතර ඊට අදාළව කටු සටහන සහිත කොළ කැබලි කිහිපයක් සැකකාරියගේ කසළ බඳුනෙහි තිබී සොයාගෙන ඇති බවත් දීර්ඝ විස්තරයක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දන්වා තිබෙයි.

එම ෆැක්ස් පණිවුඩය යොමු කර ඊට පෙර දින (12)  නඩුව කැඳවා අදාළ සැකකරුට විදෙස් ගමන් තහනම ඉවත් කළ බවට සඳහන් කරමින් සැකකාරිය විසින් ආගමන විගමන පාලකවරයාට අත්තනෝමතික ලෙස දැනුම් දී තිබෙනව බව  තහවුරු වී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් පසුව සිදු කළ විමර්ශනයේදී සැකකාරිය අත්අඩංගුවට ගත් බව අධිකරණය හමුවේ විමර්ශන නිලධාරීන් සඳහන් කළ අතර අස්ථානගත වූ නඩු පොත තවමත් සොයා ගැනීමට නොහැකි වී ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.

මෙහිදී වසර 25ක සේවා කාලය තුළ කිසිදු චෝදනාවක් එල්ලවී නැති බව සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටි අතර, ඇය ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම, නඩු ගොනු අස්ථානගත වීම ප්‍රතික්ෂේප කරන බව දෙවන සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ශාන්ත රණසිංහ මහතා සැකකරු ඇප මත මුදා හරින ලෙසද අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.