The-13-year-old-student-got-pregnant-with-the-help-of-the-abusive-lovers-mother

13 හැවිරිදි පාසල් සිසුවියක මවගේද කැමැත්ත ඇතිව බලහත්කාරයෙන් අපයෝජනයට ලක් කර ගැබිනියක බවට පත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයෙකු අද (3දා) දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට කුරුණෑගල වැඩබලන මහේස්ත්‍රාත් පෙරේදා (01දා) නියම කළේය.



වරකාපොළ ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින 32 හැවිරිදි විවාහකයෙකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.



මැල්සිරිපුර පහමුණ ප්‍රදේශයේ පදිංචිව සිටි අපයෝජනයට ලක්වූ දැරියගේ පියා සමග පවත්වන හිතවත්කම මත සැකකරු නිතරම ඔවුන්ගේ නිවසට පැමිණ ඇති අතර පියාට හොරෙන් පාසල් සිසුවියගේ මව සමග වසර තුනකට ආසන්න කාලයක් අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවත් සිසුවියගේ පියා කැලණිය ප්‍රදේශයේ රැකියාව කරන අතරවාරයේදී මොහු නිවසට පැමිණ සිසුවිය අපයෝජනය කොට ඇති බවට හෙළිවී ඇත.

පසුව දැරිය මේ බව තම පියාට දැන්වීමෙන් අනතුරුව පියා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදු කළ මැල්සිරිපුර පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

පොලිස් අත්අඩංගුවට ගෙන සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුට ඇප දීමේ අරමුණින් සිසුවියගේ මවද අධිකරණයට පැමිණ සිටීමද විශේෂත්වයකි.

අධිකරණ නියෝගයකට අනුව මේ වනවිට මාස පහක ගැබිණියකව සිටින සිසුවිය ගල්ගමුව ප්‍රදේශයේ ළමා නිවාසයකට පරිවාස දෙපාර්තමේන්තුව මගින් යොමු කර ඇති අතර දැනට එහිදී ඇයට ඇති වූ යම් කිසි ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා මේ වනවිට තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කර සිටියි.



මවගේ අනුදැනුම මත නිවසේදීම මවගේ අනියම් පෙම්වතා අවස්ථා ගණනාවකදීම තමන් අපයෝජනයට ලක් කළ බවද මේ හේතුවෙන් නව වැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි තමන්ගේ අධ්‍යාපන කටයුතු පවා අතරමඟදී නැවැත්වීමට සිදුවූ බවද එම දැරිය පොලීසියට පවසා ඇත.

එසේම මේ ආකාරයට කරන ලද අතවර සිදුවීම් තම බාල සොයුරා සහ සොයුරියද දැන සිටි බවද ලැජ්ජාව සහ මවගේ තර්ජන හේතුවෙන් මේ සිදුවීම් කිසිවෙකුටත් පැවසීමට නොහැකිව සිටි බවද ප්‍රකාශ කර ඇති සිසුවිය මෙම අතවර කිරීම් නවත්වන මෙන් අවස්ථා ගණනාවකදීම මවගෙන් ඉල්ලා සිටියද ඇය තම ඉල්ලීම් ගණනකට නොගෙන ප්‍රතික්ෂේප කළ බවද සඳහන් කර තිබේ. මැල්සිරිපුර පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

-ගීතාංජලී ප්‍රියදර්ශනී