malaysia-sri-lankan-murder

මැලේසියාවේ සෙන්තුල් හි ශ්‍රී ලාංකිකයන් තිදෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකික යුවළ මෙම 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළ බව ක්වාලාලම්පූර් පොලිස් ප්‍රධානි දටුක් අල්ලුදීන් අබ්දුල් මපීඩ් ප්‍රකාශ කර ඇත.දැනට ලැබී ඇති තොරතුරු අනුව,

ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනා හෝ මෙම සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් කිසිවකු මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී නොමැති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචිමාර්ග පැවැසුවේය.මෙම යුවළ, සිරුරු සොයාගත් සොයාගත් නිවෙසේ අයිතිකරුවන් නොවන බවත්, ඔවුන් ද එම නිවෙස කුලියට ගෙන සිට ඇති බවත්, ක්වාලාලම්පූර් පොලීසිය පවසා තිබේ.

සිරුරු සොයාගත් අවස්ථාවේදී විමර්ශන කටයුතු සාර්ථකව සිදු කිරීමට මෙම යුවළ දවස් 7ක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර, ඒ අනුව, පෙරේදා (30 වැනිදා) අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව,

තවත් දවස් 7ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.මෙම ඝාතනයන්ට සම්බන්ධ යැයි සැක කෙරෙන ශ්‍රී ලාංකිකයන් තවත් දෙදෙනකු සොයා විමර්ශන ආරම්භ කළ ක්වාලාලම්පූර් පොලීසිය, එම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා හුලු ලන්ගට් ප්‍රදේශයේ වනාන්තරයක සැඟවී සිටියදී සොයා ගෙන ඇත. මියගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනා අවුරුදු 20ත් 40ත් අතර පසුවන්නන්ය. මියගිය තිදෙනාගෙන් එක් අයකු නිවෙස කුලියට ගෙන සිටි යුවළගේ පුත්‍රයා බවත්, අනෙක් දෙදෙනා නිවෙසේ කාමරයක් කුලියට ගෙන සිටි පුද්ගලයන් දෙදෙනකු බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව ක්වාලාලම්පූර් පොලීසිය පෙන්වා දී තිබේ.

ක්වාලාලම්පූර් පොලීසිය පසුගිය 22 වැනිදා සිරුරු සොයා ගන්නා අවස්ථාවේදී එම සිරුරුවල දෙඅත් පිටුපසට බැඳ, මුහුණු ප්ලාස්ටික් බෑගයකින් ආවරණය කර තිබිණි. පුද්ගලයන් තිදෙනා මිය යෑමට හේතුව ප්ලාස්ටික් බෑගයකින් මුහුණ ආවරණය කර, හුස්ම හිර කිරීම බව සෙන්තුල් පොලිස් ප්‍රධානි, සහකාර පොලිස් කොමසාරිස් අහමඩ් සුකර්නෝ පැවැසුවේය.
විමුක්ති එස්. රුද්‍රිගු